ජීවිත සහ දේපළ විනාශයට පත් කරමින් සිදුවූ ගෘහාශ්‍රිත ගෑස් පිපිරීම්වලට හේතු වූ සංයුතිය වෙනස් කරන ලද ගෑස් ආනයනය කිරීම පසුපස සිටින කූට ජාලය එයින් ඉවත් කොට නව සැපයුම්කරුවකුගෙන් ගෑස් ලබා ගැනීමට පියවර ගන්නා ලෙස ලිට්රෝ සමාගමට රජයේ ඉහළම අංශයකින් උපදෙස් ලැබී ඇති බව රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසරට පැවසීය.
ඒ අනුව මේ වනවිටත් ලිට්රෝ සමාගම 2022 වසර සඳහා ගෑස් සැපයීමට සුදුසුකම් ලබන සැපයුම්කරුවන් වෙත ජාත්‍යන්තර තරගකාරී ලංසු තැබීමේ ක්‍රමය (International Competitive Bidding) හරහා ලංසු කැඳවීමට පියවර ගෙන ඇත.
මාස 12ක කාලයක් සඳහා අවශ්‍ය ගෑස් මෙට්‍රික් ටොන් 280,000ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීමට අදාළ ලංසු කැඳවීමට නියමිත අතර එහිදී අසාදු ලේඛනගත නොකළ සමාගම්වලින් අදාළ ලංසු කැඳවීමට ලිට්රෝ සමාගම බලාපොරොත්තු වෙයි.
මීට අදාළ පිරිවිතර පිළිබඳව පූර්ණ ලංසු රැස්වීමක් ලබන ජනවාරි 26 වැනිදා පැවැත්වීමටද කටයුතු යොදා ඇති බව වාර්තා වන අතර ඒ අනුව සුදුසුකම් ලබන සැපයුම්කරුවාට අදාල ටෙන්ඩරය ප්‍රදානය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ලිට්රෝ සමාගම් සභාපති තෙෂාර ජයසිංහ වෙත උපදෙස් ලැබී ඇතැයි මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ වනවිට අදාළ ගෑස් සැපයුම් ටෙන්ඩරය හිමි කරගෙන ඇත්තේ සිංගප්පූරුව පාදක කරගෙන ක්‍රියාත්මක වන ඕමාන් ට්‍රේඩිං නම් ඕමාන රජයටද හිමිකම් පවතින ආයතනයකින් වන අතර ඔවුන්ගේ දේශීය නියෝජිතයා ලෙස ත්‍රීඩීඑච් ඉන්ටර් නැෂනල් සමාගම ක්‍රියාකරයි.
මෙම ගනුදෙනු තුළ රුපියල් බිලියන 10කට අධික කොමිස් හුවමාරුවක් සිදුව ඇති බව පසුගියදා ලිට්රෝ සභාපති තෙෂාර ජයසිංහම මාධ්‍ය හමුවේ හෙළිදරව් කළේය.