ප්‍රකට ව්‍යාපාර නායක දිනේෂ් ෂාෆ්ටර් ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයේ තීරණාත්මක කොටසක්වන ඔහු හා සම්බන්ධ පුද්ගලයන්ගේ ජංගම දුරකථන තොරතුරු විශ්ලේෂණය අපේක්ෂා කළාට වඩා සංකීර්ණ තත්ත්වයක් බවට පත්ව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ඝාතනය පිළිබඳව විමර්ශන කටයුතු එක් කණ්ඩායමක් අතින් සිදුවන අතර අදාළ දුරකථන තොරතුරු විමර්ශනයේදී තවත් කණ්ඩායම්වල සහය ලබා ගන්නට සිදුවීම හේතුවෙන් මෙවැනි සංකීර්ණතා මතුව ඇති බැවින් බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් එ සඳහා ගත කිරීමට ඔවුන්ට සිදුව ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.
පසුගිය දෙසැම්බර් 15 වැනිදා බොරැල්ල කනත්ත සුසාන භූමියේද සිය මෝටර් රථය තුළ ගෙල සිර කර සිටියදී සොයා ගන්නා ලද ෂාෆ්ටර් ට සමීපව ඔහු ඇසුරුකළ පුද්ගලයන් සහ සැක සහිත පුද්ගලයන්ගේ ජංගම දුරකථන තොරතුරු ආවේක්ෂණය කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.
“දෙසැම්බර් 15 වන දින ප්‍රදේශයේ මූලික ස්ථාන හා සම්බන්ධ වූ සියලුම දුරකථන අංක විශ්ලේෂණය කිරීමට අපට සිදුවනවා. සැකකරුවන් නිශ්චිතව හඳුනා ගැනීම සඳහා සම්බන්ධ විය හැකි අයගේ කෙටි ලැයිස්තුවක් සකස් කිරීමට අපි දැන් සියලුම දුරකථන පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටිනවා.“ විමර්ශන කණ්ඩායමක ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු “ද එකොනොමි නෙක්ස්ට්“ වෙබ් අඩවියට එසේ සඳහන් කර තිබුණි.
ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය දැනටමත් පුද්ගලයන් 50 කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර මාර්ග කිහිපයක් ඔස්සේ අදාළ විමර්ශන සිදුවෙමන් පවතී.







