ඕස්ට්‍රේලියාවේ පර්ත්හි වෙසෙන 40 වියැති ශ්‍රී ලාංකික පියෙකු තම නිවසේ ගරාජය තුළ සිය ජීවිතය අවසන් කිරීමට පෙර සිය සිව් හැවිරිදි දියණිය සහ හය හැවිරිදි පුතා ඝාතනය කර ඇති බව එරට වාර්තා පවසයි.
ඊයේ සවස 6.30 ට පමණ ඔවුන් තම මව හමුවීමට කතිකා කරගෙන තිබුණි. ඒ අනුව මව දරුවන් දෙදෙනා ගැනීමට අදාළ ස්ථානයට පැමිණියත් දරුවන් එහි නොසිටීම නිසා මව විසින් වහා පොලීසියට දන්වා ඇත.
මෙට්‍රොපොලිටන් ප්‍රදේශයේ ඩබ්ලිව්ඒ පොලිස් සහකාර කොමසාරිස් ඇලන් ඇඩම්ස් වාර්තාකරුවන්ට පැවසුවේ මූලික විමර්ශනවලින් පොලිසිය විශ්වාස කරන්නේ මෙම මරණවලට බාහිර වෙනත් කිසිවකු සම්බන්ධ නොවූ බව පෙනී යන බවය.
‘මරණයට නිශ්චිත හේතුව සහ තත්ත්වයන් හොඳින් විමර්ශනය කරනු ලබන අතර මේ සඳහා යම් කාලයක් ගතවනු ඇත, නමුත් මම මේ අවස්ථාවේදී ඔබට කියහැක්කේ අපි මෙම සිදුවීම ද්විත්ව ඝාතන සහ සියදිවි නසාගැනීමක් ලෙස සලකන බවයි’ ඔහු පැවසීය.
මෙලෙස සිය දිවි නසාගෙන ඇත්තේ ඉන්දික ගුණතිලක නමැති නගර සැලසුම්කරුවකු ලෙස එරට සේවය කළ 40 හැවිරිදි අයෙකි. ඔහු විවාහ වී සිටින්නේ විජාතික කාන්තාවක් සමඟිනි.

ඉන්දික ගුණතිලක මානසික අවපීඩනයෙන් පෙළෙන බවත් ඔහු ප්‍රතිකාර ගන්නා බවත් ටික දිනකට පෙර සමාජ ජාලයේ සටහන් කර ඇත.
එමෙන්ම සියදිවි හානිකර ගැනීමට දින කිහිපයකට පෙර ඔහු තම දරුවන් දෙදෙනාගේ අතින් අල්ලාගෙන මුහුදු රළ පාගමින් හිරු බැස යන දෙස බලා සිටිනා සේයාරුවක් ද මුදාහැර ඇත.

ඔහු දක්ෂ ක්‍රීඩකයකු සහ ගායකයකු ලෙසට ද දෙරටේ හිතවතුන් අතර ප්‍රකට ය.







