බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“වී ආ පාර්ට් ඔෆ් යූ”…  ගොබ්බයාගේ කතාවේ සැඟවූ  බිහිසුණු ඇත්ත…

by editor
අප්‍රේල් 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

 ජානක ලියනආරච්චි
( ඉරිදා ලංකාදීප පුවත්පතට සැපයූ ලිපියක් ඇසුරින් සැකසිනි) –

විසාල කතාවක් කියන්නට ඇත. ඒ් කතාව කියවිය යුත්තේ යම් මූලික අවබෝධයක් ද සමගිනි.

මානව විද්‍යාඥයින් විසින් පෙළගස්වන තොරතුරු අනුව අඩුම තරමින් මීට අවුරුදු හත්හදසක් දක්වා කාලට පෙර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එකම භූමියකි.

මානව විද්‍යාඥයින්ට අනුව පෘථිවියේ අවසාන අයිස් යුගය මීට වසර ලක්ෂයකට  පමණ පෙර ඇරඹී වසර දස දහසකට පමණ පෙර අවසන් වූයේය. අයිස් යුගයක දී සිදුවන්නේ ධ්‍රැවාසන්න කලාප තුළ අයිස් ප්‍රභවය වැඩිවීමය.  සාගර ද්‍රව ජලය අඩුවීමය. මුහුදු මට්ටම පහත වැටීමය. ගොඩබිම් තීරය පුළුල් වීමය.

මේ  වකවානුවේ දී ආසියාව සහ උතුරු ඇමරිකාව එකම භූ තලයකි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකම භූ තලයකි. සබරගමු මැණික් පතල්වලින් පී.ඊ.පී දැරණියගලයන් සොයාගත් රයිනෝසිරස් සතුන්, ගවරුන්, සිංහයන්ගේ අවශේෂ ඒ ගොඩබිම් මාර්ගය ඔස්සේ ලංකාවට පැමිණි සතුන්ය.

අප්‍රිකාවේ ඉපදුන බවට සැලකෙන නූතන මානවයා  ලෝකය පුරා පැතිරෙමින් ඉන්දියානු භූමිය හරහා ලංකාවට පැමිණෙන්නේ අයිස් යුගයේ ඇති වූ ගොඩබිම් තීරු ඔස්සේ පා ගමනින් බව මානව විද්‍යාඥයෝ තහවුරු කරති.

ලංකාවේ ආදි මානව සාධක  අවුරුදු ලක්ෂයටක එපිට වකවානුවක් කරා දිවෙන බව ආචාර්ය සිරාන් දැරණියගලයන් පැවසුවේය. අවුරුදු හතලිස් හත් දාහකට එපිට ජීවත් වූ ආදි මානව සංස්කෘතීන්හි සාධක ෆාහියන්ගල ලෙනෙන් මතු විය. කුරුවිට බටදොඹ ලෙනේ කැනීම්වලින් අවුරුදු තිස්දහසකට එපිට මානව සංස්කෘතියක් තහවුරු වූයේය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

අප මේ වනවිට ගතකරමින් සිටින අන්තර් ග්ලැසියර යුගයේ දී  හිම දියවීම සිදුවන්නේය. මුහුදු මට්ටම් ඉහළ යන්නේය. අයිස් යුගයේ පැවති භූමි ගිලී ගොස් ගොඩබිම් වෙන් වන්නේය. දූපත් ඇති වන්නේය.

විද්‍යාඥයන්ට අනුව හිම යුගයක් ඇති වීම, හිම දියවන යුගයක් ඇති වීම  චක්‍රීය ක්‍රියාවලියකි. යළිත් වසර ලක්ෂයත් ලක්ෂ තුනත් අතර කාලයක දී ඇති විය හැකියැයි උපකල්පිත තත්ත්වයකි.

තේරුම්ගත යුත්තේ  මානව විද්‍යා න්‍යායයන්ට අනුව ලෝකයේ මානව සම්භවය එකම මූලයකින් සිද්ධවන්නක් බවය.

අඩුම තරමින් වසර හත්දහසකට පෙර කාලය ඉන්දියාව සහ  ශ්‍රී ලංකාව එකම භූතලයක්ව පැවති බවය.

අන්තර් අයිස් යුගයේ දී මුහුදු මට්ටම් ඉහළ යෑමත් සමග වෙන් වූ ගොඩබිම් බවට පත්ව අනන්‍ය භාෂා සංස්කෘතික හා මානව කුසලතා සමග ස්වකීය අනන්‍යතා තහවුරු කරගනිමින් ගොඩනැගුන බවය.

දැන් මේ කතා පෙළ අවබෝධයකින් කියවන ලෙස ඇරයුම් කරමු.

කතා අංක 1

Vedda

කොළඹ විශ්වවිද්‍යාලයේ  ජෛවරසායන, අණුක ජෛවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයත්, බානරස් හින්දු විශ්වවිද්‍යාලයත් එක්ව කළ පර්යේෂණයක ප්‍රතිඵල පසුගිය දා   ඉන්දියා ටෙලිග්‍රාෆ් පල කළේය.

එම පර්යේෂණ හරයා කියැවෙන්නේ  ශ්‍රී ලංකාවේ වැදි ජනතාව සහ දකුණු ඉන්දියාවේ ගෝත්‍රි 5 ක් අතර ජානමය සමානකම් පවතින බව ය.

ශ්‍රී ලංකාවේ වැදි ජනතාව සහ ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ සන්තාල්, ජුවාං යන ගෝත්‍රිකයන් සහ කර්නාටක, කේරළ සහ තමිල්නාඩුවේ දක්නට ලැබෙන  ද්‍රවිඩ භාෂාව කතා කරන ඉරුල, පනියා සහ පල්ලර් යන ද්‍රවිඩ ගෝත්‍රික ජනතාව අතර දැඩි ජානමය සමානකම් පවතින බව විද්‍යාඥ කණ්ඩායම හෙළි කළහ.

ශ්‍රී ලංකාවේ ජීවත්වන වැදි ජනතාවගෙන් තෝරාගත් නිරෝගී පුද්ගලයන් 37 දෙනකුගෙන් ලබා ගත් රුධිර සාම්පල්වලින් නිස්සාරණය කරගත් ප්‍රවේණි කොටස් ඉන්දියාවේ ගෝත්‍රික ජනතාවගේ ප්‍රවේණි කොටස් සමග සංසදනය කිරීමෙන් අනතුරුව වැදි ජනතාව සහ දකුණු ඉන්දියානු ගෝත්‍රිකයන් අතර ජානමය සමානකම් පවතින බව පර්යේෂණ කණ්ඩායම  තහවුරු කළේය. ඔවුන් ප්‍රකාශ කළේ  ඉන්දීය උපමහාද්වීපයේ පැරණිතම නූතන මානව ජනගහණයේ   මූලයන් ලංකාවෙන් හමුවීම පිළිබඳ    සාක්ෂි ය.

පර්යේෂණ කණ්ඩායම අධ්‍යයන කළ මෙම පර්යේෂණය මයිටොකොන්ඩියන් විද්‍යාත්මක සඟරාවේ පළකර විය. පර්යේෂණය අනාවරණය කරන්නේ  ශ්‍රී ලංකාවේ සිංහල හෝ දෙමළ ජනගහනයට වඩා වැදි ජනතාව සියවස් ගණනාවක් පුරා මෙම ගෝත්‍ර පහ සමග ජානමය සමානකම් පැවැත තිබූ බවය.

එහෙත් ඉන්දියානු විද්‍යාඥයන් පර්යේෂණ ප්‍රතිඵළ පෙළ ගස්වන ආකාරය කුතුහලය දනවන සුළුය. ඔවුන් ගොඩනගන තර්කය පැහැදිලි කරගත හැකිය.

  • ලංකාවේ ආදි මානවයා සම්බන්ධ සාධක අවුරුදු තිස් දහසක් තෙක් ඈතට දිවෙන්නේය. මෙම ආදි මානවයා ජෛව විද්‍යාත්මකව අතිශය ප්‍රබලව සමීප වන්නේ  වැදි ජනතාවට ය. වැදි ජනතාව මේ ආදි මානවයාගෙන් ඍජුව පැවත එන්නන්ය.
  • වැදි ජනතාවගේ ජාන සැකැස්ම සිංහලයින්ට හෝ ඔවුන් සමග මෙම දිවයින් භූමිය බෙදා ගන්නා වෙනත් ජන කොටසකට වඩා අතිශය සමීප වන්නේ ඉන්දීය ගෝත්‍ර කණ්ඩායම්වලටය.
  • ඉන්දියාවේ මුල්ම ජනගහනය අතර සිටි ඉන්දියානු ගෝත්‍රික ජනගහනය සමඟ වැද්දන්ගේ ජානමය සමීපත්වය ඔවුන්ගේ ගැඹුරු පොදු ජානමය මූලයන් පෙන්නුම් කරන්නේය.
  • මාතෘ පාරම්පරික විශ්ලේෂණයට අනුව වැද්දන් යනු වසර 55,000 කට පමණ පෙර ඉන්දියානු උපමහාද්වීපයෙන් පැමිණි මිනිසුන්ගෙන් පැවත එන්නන්ය. ඔවුන් අප්‍රිකාවෙන් ඉන්දියාවට සහ ආසියාවට සංක්‍රමණය වූ නූතන මානවයන්ගේ ශාඛාවක ශාඛාවක් විය හැකිය.
  • දිවයින මුලින්ම ජනාවාස කරන වැදි ජනතාවට ඍජු සම්බන්ධතා සහිත බලංගොඩ මානවයා අවුරුදු තිස් දහසකට පෙර වකවානුවේ සිට ලංකාව ජනාවාස කරන විට සිංහල ජනතාව ක්‍රිස්තු පූර්ව අට සීයය –  හයසීය අතර   දී ඉන්දියාවේ උතුරු කොටසින් ද දෙමළ ජනතාව ක්‍රිස්තු පුර්ව හයසියය – තුන්සිය අතර දකුණු ඉන්දියාවෙන් ද පැමිණෙන්නේය.

බනාරස් හින්දු විශ්වවිද්‍යාලයේ ජනගහණ ජාන විද්‍යාඥ ගයිනේෂ්වර් චෞබි මේ පර්යේෂණ ප්‍රතිඵල දැක පුදුම වන්නේය. සිහි වන්නේ හරින් ඉන්දියාවට ගොස් කී කතාවය.

“වී ආ පාර්ට් ඔෆ් යූ”

කතා අංක 2

හරීන් ඒ කතාව  පසුගිය දා යළිත් අපට ඇසුනේය. ශ්‍රි රාමායන් ට්‍රේල්ස් හෙවත් “රාමායන මංපෙත අනාවරණය කරන පූජනීය මෙහෙවර” ලෙස  හඳුන්වන ව්‍යාපෘතියක් මගින් රාමායනය ඔස්සේ ශ්‍රී ලංකාවේ හඳුනා ගත්  ස්ථාන නවයක් ලෝක මට්ටමේ ආධ්‍යාත්මික හා සංස්කෘතික ස්මාරක  බවට පරිවර්තනය කිරීමේ අරමුණිනින් ලංකාවට පැමිණ සිටින  අයෝධ්‍යා ශ්‍රී රාම් ජන්මභූමි තීර්ථ ශේස්ත්‍රා පදනමේ භාණ්ඩාගාරික    ස්වාමි ගෝවින්දේව් ගිරි මහරාජ්  ස්වාමිගෙනි.

හරීන්ගේ සංචාරක අමාත්‍යාංශයේ ද මැදිහත්වීම සහිතව ජනාධිපතිවරයාගේ පූර්ණ ආශිර්වාද ප්‍රකාරව ආරම්භ වී ඇති ශ්‍රී රාමයාන් ට්‍රේල්ස් රාමායනය ආශ්‍රයෙන් අපේ ජනශ්‍රැතියේද පවතින ස්ථාන මෙන්ම ප්‍රධානම හින්දු පූජනීය ස්ථාන සහිතව  උතුරු පළාත මගහැර ලංකාව ආවරණය වන ආකාරයට ස්ථාන 09ක් ස්මාරක බවට බවට පත් කරගෙන නඩත්තු කරන්න යන්නේය.

මන්නාරම් ද්‍රොණියේ ආදම්ගේ පාලම, සීතා එිළයේ අශෝක වනය හෙවත් හග්ගල මල් වත්ත, වැලිමඩ දෙව්රුම්පල,  උස්සන්ගොඩ ජාතික වනෝද්‍යානය,  ගාල්ල රූමස්සල, ත්‍රිකුණාමලය කෝනේෂ්වරම්, හලාවත මානාවරී කෝවිල,  ඇල්ල රාවනා ගුහාව සහ කතරගම රාමායන මං පෙතට ඇතුළත් වේ. ව්‍යාපෘතිය ආරම්භ වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 50ක මූලික ආයෝජනයකිනි.  ව්‍යාපෘතියේ ප්‍රකාශිත අරමුණ  රාමායනය මුල් කරගෙන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා පුලුල් කිරීමය.

ස්වාමිවරයා 23 වැනිදා නුවරඑළිය රම්බොඩ හනුමාන් කෝවිලට ගියේය. 24 වැනිදා සීතා එළියේ සීතා අම්මාන් කෝවිලට පැමිණියේය.  23 වැනිදා රම්බොඩ හනුමාන් කෝවිලේ දී ස්වාමි තුමා මෙසේ කීවේය.

“ මේ ඉන්න ජනතාවගේ විශ්වාසය සහ සංස්කෘතිය තමයි සනාතන සංස්කෘතිය. ඒ කියන්නේ මේ සංස්කෘතිය ඉන්දියාවෙ සංස්කෘතියට සමානව තියනවා. ශ්‍රී ලංකාව සහ භාරතය කියන රටවල් දෙකම ඓතිහාසික සහ සංස්කෘතික වශයෙන් හැඟිම්වලින් බැඳිලා තියනවා. භාරතය ලෙස හඳුන්වන ඉන්දියාව සහ ශ්‍රි ලංකාව තව තවත් ශක්තිමත් වෙන්න ඕන කියලා හනුමාන් දෙවියන්ගෙන් භගවාන් ශ්‍රී රාම දෙවියන්ගෙනුත් ඉල්ලා සිටිනවා. “

“ ශ්‍රී ලංකාව රාවණාගේ කියලා ජනතාව කතා කරනවා. නමුත් මම හැමවෙලාවෙම කියන්නේ ශ්‍රී ලංකාව විභීෂණගේ. මේක හොඳින් හිතට ගන්න. ශ්‍රි ලංකාවේ සැබෑ වීරයාවන විභීෂණ හැමදාම හිටියෙ හරි තැන. ඔහු ලංකාව බේරගන්න ශ්‍රී රාම ලගට ගියා.  විභීෂණ නිසා ලංකාව බේරුණා. සදා නොමැකෙන අට දෙනෙක් ගැන ඉන්දියාවේ විශ්වාසයක් තියනවා. ඔවුන්ගෙන් කෙනෙක් විභීෂණ. “

“ බෞද්ධ හින්දු සහ ඉන්දියාව කියන හැම දෙයක්ම පෙන්නුම් කරන්නේ එකම සංස්කෘතිය.  දෙරට හමුවීම් තුළින් උපකාර කිරිම් තුළින් එම බැඳීම් ඉදිරි පරම්පරාවට ගෙනියන්න පුලුවන්.  මේ සහයෝගය අපි ශක්තිමත් කරන්න ඕන.”

“ඉන්දියානුවන් සහ ශ්‍රී ලාංකිකයින් හැමදාමත් එකම පිරිසක්. “ ස්වාමි ගෝවින්දේව් ගිරි මහරාජ්  ස්වාමි එසේ කියන විට යළිත් අපට මතක් වෙන්නේ හරීන්ය.

“වී ආ පාර්ට් ඔෆ් යූ”

සැඟවූ ව්‍යසනය –

අපට ස්ඵර්ෂ කළ නොහැකි මානයකින් අලුත් ව්‍යසනයක සේයාවක් පෙනේ. විද්‍යාත්මක යථාර්ථයන් පිළිගත හැකිය.  මිත්‍යාවක් වුව ද සංස්කෘතික සංචාරක ව්‍යාපාරය තුළ ආර්ථිකව වාසිදායක නම් එය සබුද්ධිකව කළමනාකරණය කිරීම රටක වගකීමකි. එහෙත් මේ විද්‍යාත්මක සහ සංස්කෘතික මානයන් භාවිත වන්නේ මහා දේශපාලන න්‍යාය පත්‍රයක් තුළ නම් එය එයට නියමිත ගැඹුරු අර්ථයෙන් විවරණය කරගත යුතු බවට අපි යෝජනා කරමු.

අයිස් යුගයේ එකට එක් වී තිබුණු භූමියක සංචරණය කළ ප්‍රාග් ඓතිහාසික මානවයින්ගෙන් ඉන්දියාවේ මෙන්ම ශ්‍රි ලංකාවේ ජනාවාසකරණය වීම සම්බන්ධව තරක්යක් තිබිය නොහැකිය. එමෙන්ම තේරුම්ගත යුත්තේ  මානව සම්භවයවන්නේ ඉන්දියාවේ නොවන බවය. මානව විද්‍යාව අනුව මානවයා බිහි වී ලෝකය පුරා පැතිරි යන්නේ අප්‍රිකාවෙනි.  එහි ශාඛාවක අනු ශාඛාවක් ඉන්දියාව හරහා ලංකාවට පැමිණ වසර ලක්ෂයක සිට හතලිස් දහසක කාල පරාසය තුළ මේ භූමිය ජනාවාස කිරීම විද්‍යාත්මකව කිසිවෙක් ප්‍රශ්න කරන්නේ නැත.  මක්නිසාද යත් ඒ වකවානුවේ එකම භූමියක් විනා ඉන්දියාවක් මෙන්ම ශ්‍රි ලංකාවක් ද නොතිබීමය.

පසුව නිර්මාණයවන දිවයින තුළ වෙනම අනන්‍යතාවයක් සහිත සංස්කෘතියක් ගොඩනැගී තිබිණි. භාෂාවක් නිර්මාණය වී තිබිණි. තාක්ෂණික සම්ප්‍රදායක් ගොඩනැගී තිබිණි. ලිඛිත ඉතිහාසයක් සංගෘහිත වී තිබිණි.  මෑත ඉතිහාසඥයන් අතින්  ඉන්දියාවේ ඉතිහාසය ගොඩනැගෙන්නේත් මහාවංශය නැමැති සංගෘහිත ඉතිහාසය ඇසුරු කරගනිමිනි. එම භූමියේ පැවැත්මට ඉන්දීය ආභාසය ලබා ගත්තා සැබෑය. ඉන්දියාවෙන් දිවයින ලද මහා අලෝකය බුදු දහමය. ඒ බුදු දහමත් වැඩී වර්ධනය වන්නේ ඒ දිවයිනේ දේශීය අනන්‍යතාවයක් සහිතවය.

උරුමය සහිත භූමියක අනන්‍යතාවය  ඇත්තේ ඒ මානව සංස්කෘතික රූපණය තුළය.   අවුරුදු පනස් දහසකට එපිට ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ජාන රටාව තුළ හිමිකම් සොයන්නට යෑම අවදානමකි. මක්නිසාද යත්  ඉන්දියාවේ ගෝත්‍රික මානවයින්ගේ ජාන අනුක්‍රමිකත්වයේ කෙළවර  අප්‍රිකාවෙන් ගලපා ගතහොත් ඉන්දියාවේ  උරුමයට හිමිකම් කිරිමට අප්‍රිකාවට හැකිවන බැවිනි.

රාමායන යනු මනරම් සාහිත්‍යයකි. විද්‍යාත්මක තහවුරුවක් රහිත ප්‍රබන්ධයකි. රාමායනය මුල් කරගෙන සංචාරක ව්‍යාපෘතියක්   ශ්‍රී රාමයාන් ට්‍රේල්ස් නමින් ආරම්භ කිරීමට ඉන්දියාව සූදානම් නම් ඒ සංස්කෘතික සංචාරක ව්‍යාපාරය පිළිගත හැකිය. එහෙත් මේ ව්‍යාපෘතිය උතුර හැර ලංකාව ආවරණය වන සේ ආරම්භ කරන්නේ හින්දු ජාතිකවාදී දේශපාලනය ප්‍රභූත්වයට නැගූ ඊලඟ රාම අවතාරය ලෙස ඉන්දියාවේ පහළවුවත් පුදුමයක් නොවන ලෝකයේ ප්‍රබලම දේශපාලන නායකත්වයක් සහිත රටක සිටය.

වැරහැලි  ආර්ථිකයක් සහිත    හිඟන්නන්ගේ රටක, බත් මිටක් වෙනුවෙන් ඇඳිවතත් ගැලවී යන රටක ආර්ථිකය දේශපාලනය මතු නොව සංස්කෘතික මෙන්ම ජාතික අනන්‍යතාවය  ද ප්‍රශ්න කෙරෙමින් ඇත. ඒ සඳහා සියලුම  ප්‍රවේශ මාර්ග පාලකයින් විසින් විවෘත කර තිබේ. ගොඩබිම් මාර්ග සඳහා යෝජනා ඇත. නිදහස් වෙළෙඳ කලාප විවෘත වීමට නියමිතය. ඉන්දීය රුපියල මුදල් ඒකකයක් සේ පිළිගැනීමට සූදානමක් පවතී.  අප ඉන්දියාවට විවෘත වන්නේ අපට අපේ හතරමායිම පිළිබඳ කේවල් කළ නොහැකි දුබල පණ්ඩකයින් ලෙසය.

මේ මෙවැනි ඉන්දීය ආපදාවක් පතිතවන ඉතිහාසයේ මුල්ම අවස්ථාව නොවේ. 10වන සියවස අගභාගයේ දී පස්වැනි මහින්ද රජුත් දේවියත්, පංච කකුධ භාණ්ඩත් රැගත් ඉන්දීය ආක්‍රමණිකයෝ ලංකාව සිය යටත් විජිතයක් කළහ. පස්වන මහින්ද ඉන්දියාවේ දී මිය ගියේ අන්ත දුක්ඛිත සිරකරුවෙක් ලෙසිනි. සේන ගුත්තිකගේ සිට, කාලිංග මාඝ, ජාවක චන්ද්‍රභානු දක්වා වූ විවිධ ඉන්දීය ආක්‍රමණිකයන්ගෙන් හොඳහැටි බැට කෑ ඉතිහාසයක් අප සතුව ඇත. අපේ අනන්‍යතාවය වන්නේ මහා ප්‍රවාහ හමුවේ ගැලවී ඉදිරී නොයෑම ය.

එහෙත් අද ලෝකය හැසිරෙන්නේ සපුරා වෙනස් මුහුණුවරකිනි.  වෙස්මුහුණු යට ඇති සැබෑ මුහුණ දැකගැනීමට හැකි සහජයක් අප සතුව ඇත. මේ මොහොතේ අවශ්‍ය වන්නේ ඒ සහජය අවධිකරගෙන සවිඤ්ඤාණිකව කටයුතු කිරීමය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මේ සති මැද චීනය හඳට !

Next Post

ඝාතනය කළ නීතිඥවරිකගේ නරක් වූ සිරුරක් දෙහිවල නිවසකින් හමුවේ… ඇය නිවසේ තනිව ජීවත් වුන කෙනෙක්…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.