13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම ඇතුළු ජාතික සංහිඳියා වැඩසටහන සහ උතුර- නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) රැස්වූ සර්ව පාක්ෂික සමුළුවේ දී විපක්ෂයේ ජාතිකවාදී පක්ෂ විසින් මතු කළ දැඩි විරෝධතා හමුවේ එකඟතාවයකින් තොරව නිමාවට පත් වී තිබේ.
මෙම සමුළුවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන නියෝජනය සහිත ජාතික ජන බලවේගය සහභාගී වූයේ නැත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ විශාල නියෝජනයක් එම අවස්ථාවට එක් වූයේය.
විවිධ තර්ක විතර්ක මතුවුන අතර මෙම වැඩසටහන ප්‍රබල ලෙස ප්‍රශ්න කිරීමට ලක් කළේ දැන් ආණ්ඩුවෙන් වෙන් වී සිටින පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග විසිනි.
මෙහිදි ජනාධිපතිවරයා පැවසුවේ පළාත් සභා නවයෙන් හතක්ම තිබෙන්නේ සිංහල ජනතාව වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශ වල බවත් පළාත් සභා ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂා කරනවා නම් මේ වන විටත් අත්දැක ඇති අඩුපාඩු සකස් කළ යුතු බව ද සඳහන් කළේය.
වතින ගැටලු විසඳීම සඳහා නව නීති සම්මත කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත්, එබැවින් තමාට පමණක් නොව මීට පෙර සිටි විධායක ජනාධිපතිවරුන් හත් දෙනාට ද එම බලය නොතිබූ බවත් කී ජනාධිපතිවරයා එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පමණක් වූ තමා සිදු කරන්නේ රට වෙනුවෙන් අදාළ යෝජනා පාර්ලිමේන්තුවට ගෙන ඒම පමණකැයි කියා සිටියේය.
එම යෝජනාව ක්‍රියාත්මක කරනවා ද නැද්ද යන්න තීරණය කළ යුත්තේ ඔබ ඇතුළු පාර්ලිමේන්තුව විසින් බව පක්ෂ නායකවරුන්ට කී ජනාධිපතිවරයා මේ ප්‍රශ්නය තවදුරටත් ඇදගෙන යෑමෙන් පලක් නැති බව පෙන්වා දුන්නේය.
සියලු දෙනාටම අවශ්‍ය මේ ප්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීම බව කී ජනාධිපතිවරයා ඊට පක්ෂ නායකයින් එකඟවනාව ද නැද්ද යන්න ඍජුව දන්වන ලෙස ප්‍රකාශ කරමින් සමුළුව නිමා කළේය.







