මේ වසරේ මේ වනතුරු විදුලි ජනනය නිසා විදුලිබල මණ්ඩලයට සිදුවී ඇති රුපියල් බිලියන 30ක පාඩුව ආවරණය කිරීමට විදුලි මිලෙහි වැඩි වීමක් විදුලිබල මණ්ඩලය වශයෙන් ඉල්ලා ඇති බවත් ඒ පිළිබඳ අවසන් තීන්දුව මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශ කරනු ඇති බවත් විදුලි බල හා බලශක්ති ඇමතිවරයා අද (04) පාර්ලිමේන්තුවේ දී කීවේය.
ඇමතිවරයා විදුලි බිල වැඩි විය යුත්තේ කුමක් නිසාදැයි පැහැදිලි කරමින් පැවසුවේ ගැඹුරු නියඟයෙන් අනතුරුව මේ වනවිට වර්ෂාව ඇති වී තිබුණත් ජලවිදුලි බලාගාර සහිත ප්‍රදේශවලට තවමත් සැලකිය යුතු තරම් වර්ෂාවක් ලැබී නැති බවය.
“අද උදෑසන වනවිටත් සමනලවැව ජලාශයේ විදුලිය ජනනය කිරීමට අවශ්‍ය ජල විදුලි බලාගාරයේ ධාරිතාවෙන් සියයට 23යි තිබෙන්නේ.
වික්ටෝරියා ජලාශය පවතින්නේ සියයට 17ක. නමුත් මාවුස්සා කැලේ ජලාශයේ සියයට 70 -75 දක්වා වැඩි වෙලා තියනවා. මේ වර්ෂාව ලැබෙන්නේ අප බලාපොරොත්තුවන ප්‍රදේශවලට නෙමෙයි.” ඒ නිසා අපේක්ෂිත ජල විදුලි උත්පාදනය මේ වසරේ දී සිදුනොවන බව ඇමතිවරයා පැහැදිලි කළේය.
පසුගිය වසරේත් මේ වසරේ මුල් කාලයේත් විදුලි බිල සංශෝධනය කරන අවස්ථාවේ ඇතිවිය හැකි තත්ත්වය ගැන තමන් පාර්ලිමේන්තුව දැනුම්වත් කළ බව විදුලිබල ඇමතිවරයා කීවේය.
ජල විදුලියෙන් නිශ්පාදනය කළ හැකි විදුලි බල ධාරිතාව 2023 වසර සඳහා ගිගාවෝට් පැය 3750ක් පමණක් බවත් විදුලිබල හඟය වූ. ගිගාවොට් පැය 750ක් තාප විදුලියෙන් උපදවා ගන්නට සිදුවූ බවත් ඇමතිවරයා කීවේය.
ජල විදුලියෙන් විදුලි ඒකකයක් ජනනය කිරීම සදහා රුපියල් 06ක මුදලක් වැය වනවිට තාප විදුලි ඒකකයක් වෙනුවෙන් රුපියල් 50ක මිලක් දැරිය යුතු බව ඇමතිවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම විදුලිබල මණ්ඩලය ජූලි මාසයේ දී නිර්දේශ කළ 3% මිල අඩුකිරීම මහජන උපයෝගීතා කොමිසම විසින් 14% අඩු කිරීමක් දක්වා ගිය බවත්, සමනලවැව ජලාශයෙන් ගොවිතැන් සඳහා ජලය මුදාහැරීමට සිදුවීම නිසා අපේක්ෂිත විදුලි ජනනය නොලැබී තාප විදුලි ජනනයට යෑමට සිදු වූ බවත් ඇමතිවරයා කීවේය.
අය ක්‍රමය වෙනස් නොකිරීම හේතුවෙන් ජනවාරි සිට පෙබරවාරි දක්වා පාඩුව බිලියන 13ක් බවත් වෙනස් වූ අයක්‍රමය තුළ සැලසුමෙන් අධික ලෙස තාප විදුලි ජනනයට යෑමට සිදුවූ නිසා සිදු වූ මුලු වැය ප්‍රමාණය නිසා ඇති වූ හිගය රුපියල් බිලියන 30ක් බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව මේ හිඟය පියවා ගැනීමට විදුලි බිල වැඩි කළ යුතු බව යෝජනා කළ ඇමතිවරයා අවසන් තීන්දුව මහජන උපයෝගීතා කොමිසම විසින් ගනු ඇති බව පැවසුවේය.