අසේල කුරුළුවංශ –
අධික වර්ෂා තත්ත්වයත් සමඟ වික්ටෝරියා, රන්දෙණිගල හා රංටැඹේ ජලාශ වාන් දැමීමට පටන් ගෙන තිබෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.
මේ හේතුවෙන් රංටැඹේ ජලාශයෙන් මිණිපේ අමුණ හරහා මහවැලි ගඟට මුදා හැරෙන ජල ප්‍රවාහය පවතින වර්ෂාපතනයේ ප්‍රමාණය අනුව වෙනස් විය හැකි බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ( ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශය) ඩී.එම් ධර්මදාස මහතා පවසයි.
ලොග්ගල්ඔය, දියබානාඔය, හෑපොලඔය හා උල්හිටිය ජලාශ වල වාන් මගින් පිටවන ජල ධාරිතාව හා බදුලුඔයේ ජල ධාරිතාව ද ඍජුවම මහවැලි ගංඟාවට එකතු වීමෙන් එහි ජල මට්ටම ඉහළ යා හැකි බව පෙන්වා දෙන මහවැලි අධිකාරිය ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් හා අවධානයෙන් පසුවන ලෙස පහත් නිම්න ප්‍රදේශයේ සිටින ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
කලාවැව ද්‍රෝණියට අයත් කලාවැව හා කණ්ඩලම ජලාශ ද වාන් දමමින් තිබෙන බැවින් බෝවතැන්න, ඉබ්බන්කටුව, මොරගහකන්ද හා කළුගඟ යන ජලාශ වල ජල මට්ටමද උපරිම මට්ටමේ පවතින බව ධර්මදාස මහතා පවසයි.
ජල පෝෂිත ප්‍රදේශ වලට ඇතිවන වර්ෂා පතනයේ තත්ත්වය අනුව ඉදිරියේදී එම ජලාශද වාන් දැමිය හැකි බවත් මාදුරුඔය ජලාශයද උපරිම ජල මට්ටමේ ඇති බැවින් එම ජලාශයද වාන් දැමීමට ඉඩ තිබෙන බවත් මහවැලි අධිකාරිය පෙන්වා දෙයි.
කාලගුණය පිළිබඳ ඉදිරි පුරෝකතනයන්ට අනුව වාන් ජල ප්‍රවාහය වැඩි වීමට ඉඩ ඇති බැවින් ජලාශ වාන් දැමීම නැරඹීම හෝ විවිධ කටයුතු සඳහා ජලාශ පෙදෙස් වලට ළගා වීමෙන් වලකින ලෙසද මහවැලි අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි







