දැඩි සංචරණ නීති රීති මැද කොළඹට පැමිණෙන වාහන හදුනා ගැනීම සඳහා එක් එක් කාණ්ඩවලට විශේෂිත වර්ණ අනුව අද දින ක්‍රියාත්මක කළ ස්ටිකර් ඇලවීම ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත නවත්වා දමා ඇති බව වාර්තා වේ.
ලංකාසරට කරුණු හෙළි කළ ආරංචි මාර්ගවලට අනුව හෙට දිනයේ (08) එම ස්ටිකර් අලවීම සිදු නොකරන ලෙසත් ජනතාව අපහසුතාවට පත් නොවන ලෙසින් පරීක්ෂා කිරීම් සිදු කිරීමට කටයුතු කරන ලෙසත් පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබා දි ඇති බව සඳහන් වේ.
අද (07) උදෑසන ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම මිරිහාන නිවසේ සිට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන මාර්ගයේ වාහන තදබදයක් නිරීක්ෂණය කොට ඇති අතර පිළිබඳව සොයා බැලීමේදී මෙම තත්ත්වයට හේතුව ස්ටිකර් ඇලවීම බව හදුනාගෙන ඇත. ජනාධිපතිවරයා ඒ අනුව පොලිසිය භාර අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකර මහතා අමතා මෙම වැඩපිළිවෙළේ ප්‍රායෝගික අසාර්ථක බව පිළිබඳව විවේචනය කොට ඇත.
එහිදී වාර්තා වන්නේ තමන්ගේ දැනුවත් බවකින් තොරව මෙම කටයුත්ත පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති බවකි. පසුව වීරසේකර අමාත්‍වයරයා පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන අජිත් රෝහණ සහ දේශබන්දු තෙන්නකෝන් ගෙන්වා මේ පිළිබඳව සාකච්ඡා කොට ඇති අතර එම සාකච්ඡාවෙන් අනතුරුව පොලිස්පතිවරයා මෙම ස්ටිකර් ඇලවීමේ වැඩසටහන නවතන ලෙස උපදෙස් දී ඇති බව වාර්තා වේ.