මනම්පිටිය නිමල් ජයරත්න-
පොලොන්නරුව වස්ගමුව ජාතික වනෝද්‍යානයේ අඹන්ගඟ පාලංකඩුව ප්‍රදේශයට ඇතුළත් වී නීතිවිරෝධීව අනවසරයෙන් පතල් කැණීම් සිදුකළ සිව්දෙනකු දහවෙනිදා උදෑසන අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජීවි වැටලීම් ඒකකය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30 ත් 35 ත් අතර වයසේ පසුවන අඹන්ගඟ ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් බව පොළොන්නරුව වනජීවි වැටලීම් ඒකකයේ අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් අප කළ විමසීමකදී සඳහන් කළේය.
මෙම සැකකරුවන් දිගු කලක සිට පොලොන්නරුව වස්ගමුව ජාතික වනෝද්‍යානයේ අඹන්ගඟ පාලම්කඩුව ප්‍රදේශයට ඇතුළු වී නවාතැන්ගෙන පරිසරයට විශාල ලෙස හානි කරමින් විශාල වලවල් හාරා පතල් කැණීම් සිදුකළ පුද්ගලයන් බවද විජේකෝන් කීය.
ඔවුන් සතුව තිබූ පතල් හැරීමට යොදාගත් උපකරණ රැසක්ද පොලොන්නරුව වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා දහවෙනිදා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලොන්නරුව වනජීවි වැටලීම් ඒකකය සඳහන් කරයි.







