ඇතැම් මහජන නියෝජිතයින්ගේ වගකීම් විරහිත ප්‍රකාශ ආණ්ඩුවට මෙන්ම ආණ්ඩුව බලගන්වන ජනතා ව්යාපාරටයත් හානියක් සිදුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.
ඔහු පෙන්වා දුන්නේ මෙවැනි ප්‍රකාශ කරන බවට අනුමාන සහිතව මාධ්‍ය විසින් ඉලක්ක කරගත් ජනතා නියෝජිතයින් ගෙන්වා ඔවුන් සමග විශේෂයෙන් සාකච්ඡා කළ බවත් යම් යම් ප්‍රකාශ සිදුවීමත් සමග එම නියෝජිතයින්ට පුද්ගලිකවම තමන් කතා කළ බවත්ය.
ස්වකීය ආධුනිකත්වය, කරුණු ඉදිරිපත් කිරීමේ දී ඇතිවන පැටලිලි සහගත ස්වරූපය හේතුවෙන් කරන මේ ප්‍රකාශ සංවිධානයට හානිකර වුවද ඔවුන් එම ප්‍රකාශ හිතා මතා සිදුකරන බව මෙන්ම ඔවුන් තමන්ට වංචා නොකරන බව තමන් විශ්වාස නොකරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ අදහස් ප්‍රකාශ කරන්නේ දෙරණ 360 දේශපාලන වැඩසටහන සමග කළ සාකච්ඡාවක් අතරතුරදීය.
එම ගොඩනැගුන සම්පූර්ණ සංවාදය මෙසේය.
මාධ්‍යවේදියා – ජාතික ජන බලවේගයේ මහ ජන නියෝජිතයින් සමහර වෙලාවට කළ ප්‍රකාශ ගැනයි මම මේ අහන්නේ . මිලියන ගණන් කියද්දි බොහෝ විට දැන දැන අසත්‍ය සමාජගත කරන බවට පැහැදිලිවම පෙනෙන ප්‍රකාශ කීපයක් පසුගිය කාලයේ සිද්ධ වුනා. විශේෂයෙන්ම එක්තරා මහජන නියෝජිතයෙක් කියපු මිලියන 25යි අපි එද්දි කියපු එක. අනිත් එක සුබපැතුම් පණිවිඩයට මිලියන 980ක් බේරගත්තා කියපු එක. දැන් ඔවුන් කියන කාරණා සම්බන්ධව සමාජය වගකීමක් තිබිය යුතුයි. ඔවුන් බැඳී සිටිය යුතුයි වගවීමෙන්. නමුත් මේ විදිහට අසත්‍ය ප්‍රකාශ කිරීම තුළ ඔය විනය කතා කරන පක්ෂය තුළ මොනවගේ සංවාදයක් ද තියෙන්නේ.
ජනාධිපතිවරයා – ඇත්තටම අපි එනකොට ඩොලර් මිලියන 20යි විදෙස් සංචිතවල තිබුණේ කියලා එක රැළියක දි කියපු ප්‍රකාශය මම දැක්කා තව රැළියක දි ඔහු ඒක වැරදියි කියලා ප්‍රකාශයක්ම කරලා තිබුණා. මිනිස්සුන්ට වැරදි වෙන්න පුලුවන්නේ. වැරදි පිළිගැනීම අත්‍යාවශ්‍යයයි. හැබැයි අපේ උපරිම උත්සාහය වැරදි නොවී පවත්වා ගැනීම
මාධ්‍යවේදියා – හැබැයි බිලියන 5.9කුයි මිලියන 25කුයි පැටලෙන්න බැහැ. එක්කො ඒක නොදන්න කෙනෙක් වෙන්න ඕන.
ජනාධිපතිවරයා – නොදැනුවත්කම හෝ වැරදීමක් විය හැකියි. හැබැයි එය හිතා මතා කරනවා කියලා මම විශ්වාස කරන්නෙ නෑ.
මාධ්‍යවේදියා – එහෙනම් ඔහු නොදන්න කෙනෙක් වෙන්න ඕන
ජනාධිපතිවරයා – මේ සමාජ මාධ්‍ය මේ තියන දේ සහ අපි ඇති තරම් ව්‍යාපාරය ඇතුළේ බලාගෙන ඉන්නවා. මම මේක විවෘතව කියන්නම්. මාධ්‍ය එවැනි ප්‍රකාශයන් සිදුවේවි කියලා අපේක්ෂා කරන කණ්ඩායමක් හඳුනාගෙන තියනවා. මාධ්‍යයත් එහෙමනේ. මෙයාගෙන් පනී. මෙයාගෙන් අල්ලගන්න පුලුවන් කියලා හඳුනාගෙන තියනවා. ඒ අය වෙනම කැඳවලා අපි ඒ අයට කතා කරලා තියනවා. විවෘතව කියන්නේ.
මට දේවල් හංගන්න අවශ්‍ය නෑ… මොකෝ අපි මිනිස්සුත් එක්ක මේ ගනුදෙනුව කරන්නේ. මම හතින්නේ නෑ පක්ෂයේ කවුරුත් ඒකට හිංසාවක් කළ කියලා. ඒ නිසා අපි උත්සාහහ කරලා තියනවා. කතා කරලා තියනවා. සමහර අවස්ථාවල සිදුවීම් වෙනකොටම මම පෞද්ගලිකව කතා කරලා තියනවා. නමුත් සමහර සිදුවීම් තිබෙනවා.
මාධ්‍යවේදියා – ආණ්ඩුවේ විශ්වාසනීයභාවයට විශාල හානියක්?
ජනාධිපතිවරයා – ඔව්.. හානියක් තියනවා. ඒ වගේම ඒ ගොල්ලන්ගෙ පැත්තෙන් මට තේරුම් ගන්න පුලුවන් සමහර අය අලුත් අය. වේදිකාව අලුත්… මට මතකයි මම ආරම්භක වේදිකාවට නගිනකොට පෝඩියම් එක ගාවට ගිහින් හිටගෙන කියවලා කියවලා කියවලා ඇවිත් වාඩි වුනා. ඇත්තටම මතකයේ නෑ කිව්වෙ මොනවද කියලා. පළමු දේශපාලන රැස්වීම එහෙමයි. තැතිගැන්මක් තියෙන්න පුලුවන්.
ජනමාධ්‍යවේදියා – තැතිගැන්මට බොරු කියන එක වැරදියිනේ
ජනාධිපතිවරයා – නැහැ… පැටලවීම් වෙන්න පුලුවන්. ආධුනිකභාවයක් තියෙන්න පුලුවන්. ඒ වගේම එකක් මම පූර්ණ වශයෙන් විශ්වාස කරනවා. හිතා මතා කියන්නේ නැති බව. මොකද හිතා මතා බොරු කියපු යුගයක් තියෙන්න පුලුවන්.
මාධ්‍යවේදියා – එතන තව ප්‍රශ්නයකුත් තියනවා ජනාධිපති තුමා. මේ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට වගේ බලය ගනිද්දි තිබ්බ තත්ත්වය පිළිබඳව අවබෝධයක් නැති කමත් රට හදන්න විශාල බාධාවක්.
ජනාධිපතිවරයා – ඔව්.. ප්‍රශ්නයක්. මේවා විසින් ආණ්ඩුව කෙරෙහි අපේ ව්‍යාපරය කෙරෙහි අහිතකර බලපෑමක් සිද්ධවෙන බව අපි දන්නවා. ඒක අහිතකරයි. ඒ වගේම අපි මේ පැත්තෙන් ආර්ථිකය ගොඩනැගීම සඳහා විධිමත් වැඩ පිළිවෙලක් යන ගමන් මේ වගේ ප්‍රකාශයක් විසින් අර විධිමත් වැඩපිළිවෙළටත් ඇතිකරන හානිය අපි තේරුම් අරන් තියනවා. හානියක් තියනවා…. හරිනේ… මේක තමයි යථාර්ථය. අපි වෙනස් කරගන්න ඕන. වෙනස්කරගැනිම සඳහා අපි වැඩ කටයුතු කරනවා.
නැවත මම ඉන්න තැන කියන්නම්. මේ ප්‍රකාශ වෙන්නේ හිතා මතා නොවන බවට මගේ අදහසක් තියනවා. ඔය ගොඩක් අයත් එක්ක ඒ ඒ අවස්ථාවලදි මම පුද්ගලිකව කතා කරලා තියනවා. සිදුවෙච්චි දේ… මොකක් ද වුනේ… ඒ ගැන මට අවබෝධයක් තියනවා. මම හිතන්නේ නෑ ඔවුන් අපට වංචනිකයින් විදිහට කටයුතු කරයි කියලා. මොකද අපට වංචාකරලා මොනවා ලබා ගන්න ද?. කිසිවක් නෑ. ඒ නිසා මම හිතනවා වෙනස් විය යුතුයි.
මාධ්‍යවේදියා – මේ ප්‍රකාශ දෙකක් ගැන විතරයි කතා කළේ. තවත් කීපයක් වුනා. අපි දෙන්නෙක් විතරක් ඉලක්ක කළා කියලා හිතයි…
ජනාධිපතිවරයා – ( සිනාසෙමින්) ඔයගොල්ල අපට වඩා හොඳට දන්නවා කට්ටිය කවුද කියන්න. ඒ නිසා මයික් එක යවන්න ඕන කොතනට ද කියලා හඳුනාගෙන තියන වගත් පේනවා







