රංජිත් රාජපක්ෂ –
තලවකැලේ ලිදුල පොලිස් වසමට අයත් බඹරකැලේ වතුයායේ රහන්වත්ත කොටසේ වතු නිවාස පේලියක ඊයේ (25) රාත්‍රියේ හටගත් ගින්නකින් වතු නිවාස 20 ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය පැවසියි.
වතු නිවාස පේලියේ එක් නිවසකින් ගින්න හටගෙන එය අනෙක් නිවාස කරා සිඝ්‍රයෙන් පැතිර ගොස් ඇත. ලිදුල පොලිසියේ නිලධාරින් සහ වතු කම්කරුවන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා ගින්න පාලනය කර නිවාස 04 ක් ගින්නෙන් බේරාගෙන තිබේ.
නිවාස 24 කින් සමන්විත වතු නිවාස පේලියේ ගින්නෙන් විනාශ වු නිවාස 20 ක පදිංචි පවුල් 20 කට අයත් සමාජිකයන් 70 දෙනෙකු තාවකාලිකව එම වතුයායේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේත් , පුස්තකාලයෙත්, ආගමික ස්ථානයකත් නතර කිරිමට වතු පාලන අධිකාරිය පියවර ගෙන ඇත.

අවතැන් වුවන්ට අවශ්‍යය යටිතල පහසුකම් සහ පිසු ආහාර ලබාදිමට වතු පාලන අධිකාරිය සහ නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය පියවර ගෙන තිබේ.
ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැත. ගින්නෙන් වතු කම්කරුවන්ට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය සහ එම නිවාස වල පදිංචි පාසල් ළමුන්ගේ පොත්පත් විනාශ වි ඇත.
ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කරයි.







