රෝග ලක්ෂණ නොපෙන්වා මරණය කැඳවන සැඟවුණු මාරයෙක් (silent killer) ලෙස අධි රුධිර පීඩනය බහුතරයක් ජනතාව වෙලාගෙන ඇති බැවින් වහාම ළඟම රෝහල වෙත හෝ පවුලේ වෛද්‍යවරයා වෙත ගොස් රුධිර පීඩනය මැන බලා ගන්නා ලෙස අධි රුධිර පීඩන පරීක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය උදය රළපනාව පවසයි.
අධිරුධිර පීඩන රෝග තත්ත්වය පුද්ගලයකුට ඇති බව බොහෝවිට හඳුනාගන්නේ වෙනත් රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර ගන්නා අවස්ථාවේදී ය. නමුත් කාලයක් පුරා සිරුර තුළ අධි රුධිර පීඩන තත්වයන් පැවතියහොත් සිරුරේ සෙසු අවයවයන්ට එහි අනතුරුදායක ප්‍රතිඵලයක් එල්ල විය හැකියි යැයි ද මහාචාර්යවරයා කියා සිටියේය.
මේ වන විට ශ්‍රී ලාංකීය ජනතාව අතරින් 25% ක පිරිසක් අධි රුධිර පීඩන තත්ත්වයෙන් පෙළෙන බවට දත්ත ලැබී ඇතැයි ද හෙතෙම කීය.
යම් හෙයකින් පුද්ගලයෙකුට අධි රුධිර පීඩන තත්ත්වය පැවතිය හොත් පෙනීමේ දුර්වලතා හෘදයාබාධ වකුගඩු අකර්මණ්‍ය වීම කකුල්වල ලේ ධමනි තදවීම ආඝාතය හෙවත් අංශභාගය ඇතුළු බරපතළ තත්ත්වයේ රෝගයන්ට ගොදුරු වීමේ වැඩි ප්‍රවනතාවයක් ඇතැයි ද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ දෛනික චර්යා රටාව වෙනස් කර ගැනීම මගින් අධි රුධිර පීඩන තත්ත්වයෙන් නිරෝගී සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගතහැකි බවත්, මෙම රෝග තත්ත්වය කල්තියා හඳුනා ගැනීමට කටයුතු කරන ලෙසත් මහාචාර්ය වරයා අවධාරණය කරයි.







