ගොතටුව සහ කඩුවෙල ප්‍රදේශවල සිදු කරන ලද මෙහෙයුම් දෙකකින් රුපියල් බිලියනයක් පමණ වටිනාකමින් යුත් මිල අධික මත්ද්‍රව්‍යයක්වන කුෂ් කිලෝග්‍රෑම් 10 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම දැවැන්ත මත්ද්‍රව්‍ය වැටලීමේ දී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
ලැබුණු බුද්ධි තොරතුරු මත පදනම්ව, අගෝස්තු 6 වන දින සවස, විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් ගොතටුව පොලිස් කොට්ඨාසය තුළ මානිගමුල්ල ප්‍රදේශයේ සහ කඩුවෙල දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම අසල වැටලීම් දෙකක් සිදු කරන ලදී.
මෙහෙයුම අතරතුර, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ලැබුණු බවට සැක කෙරෙන කුෂ් කිලෝග්‍රෑම් 5.154 ක්, ජංගම දුරකථනයක් සහ රුපියල් 100,000 ක මුදල් සන්තකයේ තබාගෙන සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
තවත් වැටලීමක දී කුෂ් කිලෝග්‍රෑම් 5.106 ක්, මෝටර් රථයක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන රුපියල් 150,000 ක මුදලක් සමග අත් අඩංගුවට ගෙන ගොතටුව පොලිසියට භාර දී තිබේ.
වයස අවුරුදු 35 සහ 64 යන වයස්වල පසුවන සැකකරුවන් ගොතටුව සහ කොළඹ 14 යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.
විමර්ශනවලින් හෙළි වූයේ ඔවුන්ගෙන් එක් අයෙකු මීට පෙර 2021 දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ උපදෙස් පරිදි වසරක සහ මාස අටක රැඳවුම් නියෝගයකින් පසු නිදහස් කර ඇති බවය.
මෙම සැකකරු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයෙකුගේ වත්කම් කළමනාකරුවෙක් ලෙස සේවය කර ඇති බවට ද වාර්තා වී තිබේ.
ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සැකකරුවන්ට ලබා දී ඇත්තේ දැනට බන්ධනාගාරගතව සිටින පාතාල නායක දෙමටගොඩ චමින්දගේ ප්‍රධාන ගෝලයෙක් වන “චප්පා” නැමැත්තා බව විමර්ශන අංශ පවසයි.
වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකව ඇත. ( අද දෙරණ)







