සම්ප්‍රදායික බල හුවමාරුවෙන් ඔබ්බට ගොස් බිඳවැටුණු මව්බිම ගොඩනැගීමට සමත් ප්‍රතිපත්තිමය වෙනසක් වෙනුවෙන් ජනතාව පෙළ ගස්වීමේ වගකීම ජාතික ජන බලවේගය වෙත පැවරෙන බවත් එම වගකීම ගෞරවණීයව පවරා ගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානයක පැවසීය.
ඔහු මේ බව පැවසුවේ අද කොළඹ දී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි. ජාතික ජන බලවේගයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ අභිලාෂයෙන් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
එහිදී ජ.වි.ජෙ නායක අනුර කුමාර දිසානායක මෙසේ ද පැවසීය.
අපේ ඉතිහාසයේ ඇතිවී තිබෙන ගැඹුරුතම අර්බුදයට ආර්ථිකය මුහුණදී සිටිනවා. දැන් ජනතාවට අවශ්‍ය වී තිබෙන්නේ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාවකට වඩා ප්‍රශ්නවලින් ගොඩ ඒම සඳහා විසඳුමක්. සාම්ප්‍රදායික ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හෝ එක්සත් ජාතික පක්‍ෂයෙන් අපේක්‍ෂා කළ පිළිතුරු වර්තමානයේ අපේක්‍ෂා කරන්නේ නැහැ.
ආණ්ඩුව කෙරෙහි කලකිරීමට ලක්වී තිබෙනවා හා සමානවම එක්සත් ජාතික පක්‍ෂය හා එයින් කැඩී ගිය කණ්ඩායමත් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. ජනතාව නව විසඳුම් මාවතක් කෙරෙහි පෙළගැසෙමින් සිටිනවා. සාම්ප්‍රදායික බල හුවමාරුව වෙනුවට අලුත් පන්නයේ බල හුවමාරුවක් ගැන සියලු දෙනා විශාල පිපාසයකින් පෙළෙනවා. වංචා-දූෂණවලින් තොර, වංචාකරුවන්ගේ දේපළ පවාගෙන දඬුවම් ලබාදෙන, ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතය උසස් කර, නීතියේ ආධිපත්‍යය තහවුරු කර සාමකාමී රාජ්‍යයක් ගොඩනැගීමේ පිපාසයකින් පොදු ජනතාව පෙළෙනවා. මෙතෙක් අප රටේ තිබුණේ එක් පක්‍ෂයක් ප්‍රතික්‍ෂේප වන විට අනෙක් පක්‍ෂය බදා වැළඳ ගන්න ඉතිහාසයක්.
අලුත් පාලක, අර්බුදයට විසඳුම් දෙන, බිඳ වැටුණු මව්බිම ගොඩනැගීමේ බලවේගය වන්නට ජාතික ජන බලවේගය සූදානම්. සාම්ප්‍රදායික බල හුවමාරුවෙන් සහ ඔළුගෙඩි මාරුවෙන් එහාට යන ප්‍රතිපත්තිමය වෙනසක් වෙනුවෙන් ජනතාව පෙළගැසෙනවා. බිඳවැටුණු මව්බිම ගොඩනැගීමේ විසඳුම බවට ජාතික ජන බලවේගය පත්කිරීමේ සහ බිඳවැටුණු මව්බිම ගොඩනැගීමේ අභියෝගය බාරගන්න අපි සූදානම්.
නීතිඥ සංගම්, ඉංජිනේරුවන්, කෘෂි විද්‍යාඥයන්, ග්‍රාමීය ජනතාව, වෘත්තීය සංගම්, එක් කරගෙන අපි දීර්ඝව සාකච්ඡා කළා. මේ රට ගොඩනැගීම එක් එක් පුද්ගලයාගේ තනි තනි අභිලාෂයක් නොවේ. මේ රටේ යහපත් වෙනස්වීමක් අපේක්‍ෂා කරන බලවේග එක තැනකට කැඳවිය යුතුයි. ඒ මධ්‍යස්ථානය තමයි ජාතික ජන බලවේගය.
මෙතෙක් සිදුකරන ලද සංවාදයන් තුළින් වැඩපිළිවෙළක් සහ එම කණ්ඩායම එළිදැක්වීම මූලික පරමාර්ථය කරගෙන ජාතික ජන බලවේගය ලෙස අපි නියෝජිත සමුළුව එළඹෙන 20වැනිදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල් සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
සෞඛ්‍ය හේතුන් මත සියලු දෙනාටම ආරාධනා කරන්න නොහැකි වී තිබෙනවා. ඒ නිසා ඒ ඒ ක්‍ෂේත්‍රවලින් හඳුනා ගත් නියෝජිත කණ්ඩායම් කැඳවා මේ සමුළුව පවත්වනවා. ජනවාරි මාසයේදී දිස්ත්‍රික් මට්ටමින් නායකත්ව මණ්ඩල හඳුන්වා දෙන්න අපි සැලසුම් කර තිබෙනවා.
මේ අභියෝගය ජයග්‍රහණය කරන්න ඉහළින් එකතු වෙන කණ්ඩයම්වලට විතරක් බැහැ. ලක්‍ෂ ගණන් එකට පෙළගැස්සුවොත් විතරයි මේ අභියෝගය ජයගත හැකි වන්නේ. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව වගේම ග්‍රාමීය, නාගරික සහ සියලු ක්‍ෂේත්‍රවල සිටින ජනතාව එක මධ්‍යස්ථානයකට අපි කැඳවනවා. නාගරික වශයෙන් පමණක් නොවෙයි ග්‍රමීය වශයෙන් ජනතාව බලගැන්වීමේ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.
ජනතාවත් එක්ක සංවාදයේ යෙදීම, අදහස් හුවමාරු කර ගැනීම තුළින් විශාල මහජන ව්‍යාපාරයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ දක්වා ගමන් කළ විනාශකාරී මාවත වෙනුවට විසඳුම් සෙවීමේ මාවතට අපි ජනතාව කැඳවනවා.







