තමන්ගේ දරුවෙක් අසනීප වූ මවක් දරුවාට ප්‍රතිකාර ගැනීමේ තීරණාත්මක අවස්ථාවක දී ගෙල බැඳි රන් මාලය විකුණන බවත් දරුවාට ප්‍රතිකාර නොකර රන් මාලය පළඳාගෙන යන්නට කල්පනා කරන මව්වරු නොමැති බවත් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති සංවාදාත්මක වැඩසටහනක දී මාධ්‍යවේදියෙක් රන් සංචිත පිළිබඳ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමිනි.
එහිදී මහ බැංකු අධිපතිවරයා මෙසේ ද පැවසුවේය.
මේ ඔක්කොම අපි කරන්නෙ තාක්ෂණිකව ගණනය කරලා. රන් සංචිත පිළිබඳව ගත්තෙත් තාක්ෂණික තීරණයක්.
දරුවෙක් අසනීප වුනාම අම්මා රත්තරන් විකුණන්න පුලුවන් . ප්‍රශ්නයක් නෑ. නැවත ඒක ගන්න පුලුවන්. දරුවට මොකක් උනත් කමක් නෑ. මම රත්තරන් මාලෙ දාගෙන යන්න ඕන කියලා අම්මා කෙනෙක් කියනව ද?. නැහැ. අවශ්‍ය වුනාම දරුවව හොඳ කරගන්න ඒක කරනවා.
ඉතින් මේ රටට අවශ්‍ය භාණ්ඩ ගන්න ඕන වෙන වෙලාවට අපිට ඒකට ද්‍රවශීලතාවය තියෙන්නට ඕන.
ඒ වගේ වෙලාවට රත්තරන් සංචිතය අඩු කරගත්තා කියලා කිසි ප්‍රශ්නක් නෑ. මේ අවුරුද්ද අන්තිම වෙනකොට අපේ සංචිත වැඩිකරගත්තම අපට ආපහු ගන්න පුලුවන්. “
මහබැංකු අධිපතිවරයා කීවේය.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ රටේ දැනට මතුවී ඇති ගෑස් ප්‍රශ්නය, විදුලිබල සැපයුම අත්හිටුවීම ඇති වී තිබෙන්නේ ඩොලර් අර්බුදයක් මත නොවන බවය.
කන්ටේනර් 1500ක් වරායේ හිරවී ඇතැයි කියන කිසිවෙක් හෝ ගොස් එම කන්ටේනර් ගණන් බලා නැති බවත්, ඒවා වරායෙන් මුදවා ගන්නට නොහැකිව තිබෙන්නේ ඩොලර් අර්බුදය නිසාදැයි නිශ්චිතව තහවුරු කර නැති බවත්ය.
මේ වසර අවසන් වනවිට 5.5ක ආර්ථික සංවර්ධන වේගයක් ලබා ගත හැකි බව ද මහබැංකු අධිපතිවරයා විශ්වාසය පල කළේය.
“මෙතනදි අපිත් යම් කිසි ආකරයකින් ඉවසීමකින් කටයුතු කරන්න ඕන. තව මාස දෙකකින් තුනකින් සංචාරක ක්ෂේත්‍රය තවදුරටත් වර්ධනය වෙන කාලයක් එනවා. ඒ වෙනකොට මේ තියන පීඩනය තව දුරටත් අඩු වෙනවා. ඉවසීමෙන් මේ කාලය ගත කරමු.” අවසාන වශෙයන් මහබැංකු අධිපතිවරයා කීවේය.