කීර්ති ප්‍රනාන්දු –
බේකරි නිෂ්පාදනයට අවශ්‍ය තිරිඟු පිටි ඇතුළු අමුද්‍රව්‍ය හිගවීම හේතුවෙන් සහ තිරිඟු පිටි වල මෙන්ම අනිකුත් අමුද්‍රව්‍යවල මිල ඉතා ඉතා අධික ලෙස ඉහළ යාම හේතුවෙන් මේ වන විට රට තුළ බේකරි 300කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වසා දමා ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සභාපති එන් .කේ. ජයවර්ධන පවසයි.
එසේ වසා දමා ඇති ඇතැම් බේකරි වල හිමිකරුවන් බේකරි කර්මාන්තය සම්පූර්ණයෙන්ම අතහැර දමමින් ඔවුන්ගේ බේකරිවල ඇති උපකරණ ද විකුණා දමා ඇතැයි ඔහු වැඩිදුරටත් පවසයි.
මේ වන විට තම සංගමයේ සාමාජිකත්වය දරන බේකරි 7000 ක් රට පුරා ඇති බවත් එයින් බේකරි4000 ක් පාන් නිෂ්පාදනය කරනු ලබන්නේ සතියට දින පහක් පමණක් බව ද හෙතෙම පෙන්වා දෙයි.
තිරිඟු පිටි හිඟය බේකරි වලට විශේෂයෙන් බලපා ඇති ප්‍රධානම ප්‍රශ්නය වන බව පවසන ඔහු රුපියල් 84.50 ට මිලදී ගත් තිරිගු පිටි කිලෝවක් මේ වන විට මිලදී ගැනීමට සිදු වී ඇත්තේ රුපියල් 115 ත් 130 ත් වැනි අධික මිලකට බවද කියයි.
එසේම කෙටි කෑම නිෂ්පාදනයන් සඳහා අවශ්‍ය ෆාම් ඔයිල් , පොල් තෙල්, මාගරින්, බිත්තර, ඇතුළු බේකරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය අනෙකුත් අමුද්‍රව්‍ය ද බේකරි කර්මාන්ත කරුවන් හට දරාගත නොහැකි ආකාරයෙන් ඉහළ ගොස් තිබෙන බවද සභාපතිවරයා කියයි.
මේ වන විට බේකරි කර්මාන්තය තුළ ඇති වී ඇති මෙම ගැටලුකාරී තත්වයට ඉක්මන් විසඳුම ලබා දී නැවත බේකරි කර්මාන්තය ගොඩනැගීමට සහයෝගය ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ද ඉල්ලීම් කර ඇතැයි ද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සභාපති එන් .කේ. ජයවර්ධන කියයි.







