දිනසේන රතුගමගේ –
යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ නේවාසිකාගාරවල සිටින විශ්ව විද්‍යාල සිසුවියන්ට විශ්වවිද්‍යාල සුලු සේවකයින්ගෙන් සහයෝගය ලැබෙන බාහිර පුද්ගලයින් විවිධ ආකාරයේ ලිංගික අඩන්තේට්ටම් සිදුකරන වන බව එම ශිෂ්‍යාවන් විසින් ඊයේ (06) කෝපායි පොලීසියට පැමිණිලි කොට තිබේ.
මීට පෙර එවැනි ලිංගික අඩන්තේට්ටම් සිදු වූ අවස්ථාවක නේවාසිකාගාර සිසුවියන් 312 දෙනෙකුගේ අත්සන් වලින් යුත් පෙත්සමක් විශ්ව විද්‍යාල බලධාරීන්ට ඉදිරිපත් කොට ඇතත් ඉන් සහනයක් සිදු නොවූ තැන එම සිසුවියන් පොලීසියට පැමිණිලි කොට තිබේ.
කෝපායි පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හේතුව වී ඇත්තේද ඊට පෙර දින සවස විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු හමාර වී නේවාසිකාගාර බලා යමින් සිටි සිසුවියන් පිරිසක් අසලට යතුරු පැදි වලින් පැමිණි තරුණයින් දෙදෙනෙක් ඔවුන්ට බලහත්කාරකම් කිරීමට සූදානම් වීම යැයි විශ්ව විද්‍යාල සිසුවියන් ප්‍රකාශ කරයි.
මේ කටයුතු සඳහා බාහිර පුද්ගලයින් සම්බන්ධ වූවත් විශ්ව විද්‍යාලයට සම්බන්ධ සුළු සේවකයින්ගෙන් එම කණ්ඩායම් වලට විශාල රුකුලක් ලැබෙන බවද විශ්ව විද්‍යාල සිසුවියන් ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් සිසුවියන් කෝපායී පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව විශ්ව විද්‍යාල බලධාරීන්ටද පැමිණිලි කොට තිබේ.
පොලීසිය හා විශ්ව විද්‍යාලය අදාල සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







