දිනසේන රතුගමගේ-
මී උණ රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීමත් සමගම යාපනය ශීක්ෂණ රෝහලේදී හා පේදුරුතුඩුව මන්තිහෙයි රෝහලේදි එම රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට වෙනම ඒකක දෙකක් ඊයේ (12) සිට ආරම්භ කොට තිබේ.
මේ වන විට මීඋණ රෝගය වැළදුණු රෝගීන් 34 දෙනෙකු එම රෝහල් වල ප්‍රතිකාර ලබන අතර තවත් සැක සහිත රෝගීන් 17 දෙනෙකු වාර්තා වී ඇති බවත් ප්‍රාදේශිය සෞඛ්‍ය අංශ කියයි.

මී උණ රෝගය වැළදීම නිසා මේ වන විට යාපනය රෝහලේ ප්‍රතිකාර ලැබූ රෝගීන් 6 දෙනෙකුද මුලතිව් රෝහලේදී එක් අයෙකුද මියගොස් තිබේ.
මුලතිව් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් හතර දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලේ ස්ථාපිත කොට ඇති විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත මාරු කොට යවා තිබේ.
යාපනය ප්‍රදේශයේ බහුලව පැතිරී යන මී උණ රෝගය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝවන රෝග පිළිබද ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ප්‍රභා අභයකෝන්ගේ ප්‍රධානත්වයෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් යාපනයට පැමිණ මී උණ රෝගීන් සිටින ප්‍රදේශද පරීක්ෂාවට ලක් කළේය.
ඔවුන් යාපනය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ පී.සත්‍යමූර්ති යාපනය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ඒ. කේතීස්වරන් හා පළාත් තවත් සෞඛ්‍ය බලධාරීන් රැසක් සමග සාකච්ඡා කර තිබේ.
ඒ අනුව කුඹුරු ගොවිතැන් කරණ හා ධීවර කටයුතු වල නිරත පිරිසට මී උණ රෝගයෙන් ආරක්ෂා වීම පිණිස පූර්ව ප්‍රතිජීවක ඖෂධ බෙදා දීමටද තීරණය වුණි.
මේ වන විට යාපනය පුරා ශබ්ද වාහීනී යන්ත්‍ර මගින් මී උණ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ කටයුතුද ආරම්භ කොට ඇත.







