දිනසේන රතුගමගේ –
යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙස ඉල්ලමින් රාමේස්වරන් ධීවරයින් ඊයේ (25) සිට තංගච්චිමඩම් වලසායි බස් නැවතුම්පොළේ අඛණ්ඩ උපවාසයක් ආරම්භ කොට තිබේ.
මීට පෙර රාමේස්වරන් ධීවරයන් මේ කාරණය සම්බන්ධයෙන් විරෝධතාතාවයක් ආරම්භ කොට එය දින හයකින් නතර කර දැමීය.
මෙවර රාමේස්වරන් ධීවර සංගමයේ නායකයින් ඇතුළුව එහි සාමාජික සාමාජිකාවන් විසින් ආරම්භ කොට ඇති උපවාසයට වරකට 300 ක් දෙනා සහභාගී වන අතර ඔවුන් එහිදී මාරුවෙන් මාරුවට උපවාසයේ නිරත වේ. 
රාමේස්වරන් තංගච්චිමඩම් වලසායි බස් නැවතුම්පොළේ බිම වාඩි වී සිදු කරණ මෙම උපවාසයේදී දැනට යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින ඉන්දීය ධීවරයින් 43 දෙනා වහාම නිදහස් කරන ලෙසත් ලබන සතියේදී ඉන්දියාවේ තූත්තුකුඩියට පැමිණීමට නියමිත ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්රසිං මෝදි හමුවී මේ ප්රශ්නය සාකච්ඡා කිරීමට රාමේස්වරන් ධීවර සංගමයට අවස්ථාවක් සලසා දෙන ලෙසත් ඉල්ලා සිටියි.
මේ කාරණා දෙකම ඉටුවන තුරු රාමේස්වරන් ධීවර සංගම් විසින් දියත් කළ උපවාසය අත් නොහරින බව ප්රකාශ කළ එම සංගමයේ ප්රධානී එස්. ජෙසුදාසන් දැනට බන්ධනාගාර ගත කොට සිටින ඉන්දීය ධීවරයින් 43 දෙනාට අමතරව අධිකරණ නියෝග මත මෙතෙක් නාවික හමුදාව බාරයේ තබාගෙන ඇති ඉන්දීය ධීවරයින්ට අයත් යාත්ර 151 ක් නිදහස් කරණ ලෙසද ඉල්ලා සිටින බවද පැවසීය.







