පෙර නොවූ විරූ විදේශ සංචිත පිළිබඳ අර්බුදයකට අද ශ්‍රි ලංකාව මුහුණ දී ඇති බවත් එය විසඳා ගැනීම සඳහා නව නිර්මාණශීලී දේශීය විසඳුම් සෙවීම සියල්ල විනාශ කරවන සුනාමියකට කැඳවීමක් බවත් ප්‍රවීන ආර්ථික විද්‍යාඥයකු වන ඔස්ට්‍රේලියාවේ ජාතික විශ්ව විද්‍යාලයයේ ආර්ථික විද්‍යාව පිළිබඳව සම්මානිත මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ මහතා ශ්‍රි ලංකාව වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ස්ථායීකරණ ගිවිසුමකට එලඹීම බවත් අවධාරණය කරයි.
පසුගියදා NSBM හරිත සරසවියේදී පැවැති සමුළුවකට අන්තර්ජාලය ඔස්සේ එක්වූ මහාචාර්යවරයා ශ්‍රි ලංකාවේ වර්තමාන අර්ථික අර්බුදය පිළිබඳව දීර්ඝ පැහැදිළි කිරීමක් කළේය. ඒ අනුව ඔහු පෙන්වා දුන්නේ නිදහසින් පසුව රට මුහුණ දෙන දරුණුතම ගෙවුම් ශේෂ අර්බුදයට වර්තමානයේ හ්‍රි ලංකාව මුහුණ දෙමින් සිටින බවය.මෙම අර්බුදය හුදෙක් කොවිඩ් වසංගතය හේතුවෙන් නිර්මාණය වූවත් නොව පසුගිය කාලය තිස්සේ වර්ධනය වී වසංගතය හේතුවෙන් දැඩි ලෙස ඉසමතු වීමක් පමණක් සිදුව ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා
“ශ්‍රි ලංකාව මේ වනවිට ජංගම ගිණුමේ දැවැන්ත ශේෂයක් පෙන්නුම් කරනවා. එනම් අපේ රටේ භාණ්ඩ සහ සේවා සමස්ත අපනයනයෙන් උපයන ආදායමට වඩා වැඩි වියදමක් සමස්ත ආනයන සඳහා වියදම් කරනවා. මෙයින් ජංගම ගිණුමේ විශාල ශේෂයක් නිර්මාණය වී තිබෙනවා. නිදහසින් පසුව ගත වූ අවුරුදු 70 තුළ අප රටක් ලෙස ජංගම ගිණුමේ ශේෂය අතිරික්තයක් වාර්තා කර ඇත්තේ අවුරුදු 7ක් මණයි. මේ අවුරුදු හතෙනුත් 1977 න් පසුව ගත වූ දශක හතර තුළ එක වරක්වත් මේ ගෙවුම් ශේෂය අතිරික්තයක් වෙලා නෑ.“
2020 වනවිට ශ්‍රි ලංකාව ලබා ඇති විදේශිය ණය ප්‍රමාණය රටේ දළ දේශීය නිෂ්පාදිතය මෙන් සියයට 60ක් බව මහ බැංකුව කියනවා. නමුත් යථාර්ථය මෙම ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 70ක්. ඇත්තටම දළ දේශීය නිෂ්පාදිතයට දක්වන විදේශ ණය අනුපාතය අර්ථ දැක්වීමෙන් ආර්ථිකයේ සැබෑ ස්වරූපය පෙනෙන්නේ. නැහැ. ඊට සාපේක්ෂව සමස්ත අපනයන ආදායමට සාපේක්ෂව විදේශ ණය අනුපාතිකය සැලකිම වැදගත් එහෙම ගත්තොත් ශ්‍රි ලංකාව මෙම අනුපාතය 370ක් පමණ අගයක් ගන්නවා. එය අප්‍රිකානු රාජ්‍යයන් කිහිපයක් හැරෙන්නට ලෝකයේ සෙසු රටවල් සැලකීමේදී අතිශයින්ම ඉහළ අගයක්. ඒ වගේම 2020 වසරේ රාජ්‍ය ආදායමෙන් සියයට 60ක් විදේශ ණය ගෙවීමට වැය වී තිබෙනවා.
නමුත් අද ශ්‍රි ලංකාව ක්‍රියාත්මක කරන්නේ පැස්බරා ඔලුව හංග ගන්නවා වගේ අර්ථ විරහිත ප්‍රතිපත්තිමය පියවර. එයින් එකක් තමයි ආනයන නතර කිරිම. මෙලෙස ආනයන බදු වැඩි කිරීම වැනි සංශෝධන කිරීම වෙනුවට ආනයන නතර කිරීම ලෝක වෙළෙඳ සංවිධානයේ ප්‍රතිපත්තිවලටත් එරහිව යාමක්.







