වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) විසින් සිදු කරන ලද පරීක්ෂණවලට අනුව ‘මෙනින්ගොකොකල්’ ආසාදිතයන් දෙදෙනෙක් මේ වන විට වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර සිටියි.
එක් ආසාදනයක් ගාල්ල බන්ධනාගාරයෙන් වාර්තා වූ අතර අනෙක් ආසාදනය කොළඹින් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැහැදිලි කළේය.
දෙවන රෝගියා ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති අතර ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔහු සුවය ලබමින් සිටින බවත් වෛද්‍ය ගුණවර්ධන ප්‍රකාශ කළේය.
කොළඹ දිස්ත්‍රික්කය පුරා බැක්ටීරියා ආසාදනය ව්‍යාප්ත වී ඇති බවට පළ වූ මෑත කාලීන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන අතර, මේ වන විට වාර්තා වී ඇත්තේ ආසාදන දෙකක් පමණක් බවත් ඉන් එකක් වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා තහවුරු කළේය.
මේ අතර, පසුගියදා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී දරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය ගුණවර්ධන කියා සිටියේ එම මරණයට හේතුව මෙනින්ගොකොකල් මෙනින්ජයිටිස් බවට සැකයක් පැවති නමුත් පසුව සිදුකළ පරීක්ෂණවලින් එම දරුවාට සත්‍ය වශයෙන්ම රෝගය වැළඳී නොමැති බව තහවුරු වූ බවයි.