ආණ්ඩු පක්ෂයේ යෝජනාවක් මත රාජ්ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මයන්ත දිසානායක එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
මයන්ත දිසානායක එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි තමන්ට දැනුම් දුන් බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේය.
මයන්ත දිසානායක තම තීරණය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිඛිතව දැනුම් දීමෙන් පසු මුදල් කාරක සභා සභාපති ධුරයෙන් නිල වශයෙන් ඉවත් වීමට නියමිතය.
විපක්ෂය විසින් හෙබවිය යුතු තනතුරක් වූ රාජ්ය මුදල් කාරක සභාවේ සභාපති තනතුරට විපක්ෂයෙන් ඒකමතිකව ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ නම යෝජනා වී තිබිය දී මුදල් කාරක සභාව තුළ බහුතර බලය යොදා ගනිමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරු එහි සාමාජික, විපක්ෂ මන්ත්රී මයන්ත දිසානායකව පත් කරගෙන තිබිණි.
අනතුරුව ඔහු කතානායකට අමතා එම තනතුර භාර ගැනීමට කැමැත්ත පළ කළ බව කතා නායකවරයා කීවේය.
මේ පිළිබඳව විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මයන්ත දිසානායකට ඇමතූ විට ඔහු පවසා තිබුණේ තමන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බවය.
කෙසේ වෙතත් මේ වනවිට මයන්ත දිසානායක එම තනතුරෙන් ඉල්ලා අස්වීමට හිත හදාගෙන ඇති බව සමගි ජන බලවේගයේ ආරංචි මාර්ග කියයි.
මේ ලිපියත් කියවන්න..







