රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් මාස 06ක සිර දඬුවම් නියම වී සිටින ඩබ්ලියු.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් වන රන්දේව් ජිනෙන්ද්‍ර ජෝන් තමන්ව ඇප මත මුදා හරින ලෙස රිට් පෙත්සමක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීම අභියාචනාධිකරණය අද (12) ප්‍රතික්ෂේප කළේය.
පෙත්සම කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණ විනිසුරුවරුන්වන සෝබිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේය.පෙත්සම් කරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විනිසුරු මඩුල්ල පෙත්සම සම්බන්ධව කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම යලි නොවැම්බර් මස 29 වැනිදා යළි කැඳවීමට දින නියම කළේය.
රනිල් වික්‍රමසිංහ බලවත්ව සිටි වර්ෂ 2015 සහ 2019 යහ පාලන ආණ්ඩුව පැවති කාලය තුළ රනිල් වික්‍රමසිංහගේ ඉතා සමීප මිතුරෙක් ලෙස මහ බැංකු බැඳම්කර වංචාවට ද සම්බන්ධ වුන අර්ජුන් ඇලෝසියස් එම දේශපාලන රැකවරණය ද සහිතව තමන්ගේ ඩබ්ලියු.එම්. මෙන්ඩිස් සමාගමෙන් රජයට ගෙවිය යුතු බිලියන 3.5ක වැට් බදු මුදල ගෙවීම පැහැර හැර තිබුණේය.
එසේ පැහැර හැර තිබූ රජයට අය විය යුතු වැට් බදු මුදලවන රුපියල් බිලියන 3.5ක් ගෙවන ලෙසට විත්තිකරුවන්ට ගෙවීමට නියම කරන ලෙස ඉල්ලා දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් පනවා තිබූ නඩුවකට අදාලව පෙත්සම් කරු ඇතුළු තිදෙනෙකුට පසුගිය ඔක්තොම්බර් 18 වැනිදා අධිකරණය විසින් මාස හයක සිර දඬුවම් නියම කළේය.







