උද්ගතව ඇති තත්ත්වය හමුවේ තමන් කිසි ලෙසකින්වත් සිය ධුරයෙන් ඉල්ලා අස් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් සමග ඊයේ (10) පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කර ඇත.
තමන්ගේ ඉල්ලා අස්වීම සම්බන්ධව කතා නොකර වෙනත් ඕනෑම සුදුසු පියවරක් යටතේ අගමැති ධුරය භාරගෙන ආණ්ඩුව පිහිටුවීම සඳහා සාකච්ඡා කරන ලෙස ජනාධිපතිවරයා එහිදී එම මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.
උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ස්ථාවරය ජනාධිපතිවරයාට දැනුම් දීම සඳහා ඊයේ රාත්‍රියේ සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර, කබීර හෂීම් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයා හමු වී සාකච්ඡාවේ දී හෙතෙම මේ බව අවධාරණය කර ඇත.
විපක්ෂ නායකවරයාට අගමැති ධුරය භාරගෙන නව ආණ්ඩුව පිහිටුවා ඔහුගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පූර්ණ බලයක් අවශ්‍ය බවත් එම වැඩ පිළිවෙළ දියත් කිරීමට අවකාශ සලසා දෙන ලෙසත් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති අවස්ථවේ දී ඔහු එලෙ ස ප්‍රතිචාර දක්වා තිබේ.
විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අහෝසි කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ අවශ්‍ය පියවර ගත යුතු බවත් එවැනි ඕනෑම යෝජනාවකට තමන්ගේ කැමැත්ත ඇති බවත් එහිදී ජනාධිපතිවරයා පවසා ඇත.
මේ සම්බන්ධව ව්‍යවස්ථානුකූලව සිදුකෙරෙන ඕනෑම ක්‍රියාමාර්ගයක් සඳහා තමන් එකඟ බව ද එසේ නොමැතිව ඉල්ලා ඇස්වීම හෝ වෙනත් ක්‍රියාමාර්ගවලට යන ලෙස බලකිරීමෙන් පලක් නොවන බව ද ඔහු ද දැනුම් දී ඇතැයි අප කළ විමසුමක දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැවසුවේය.
ඒ අනුව සමගි ජන බලවේගයේ සාකච්ඡාවට සහභාගී වූ මන්ත්‍රිවරු ජනාධිපතිවරයාගේ එම ස්ථාවරය පිළිබඳ විපක්ෂ නායකවරයා සමග නැවත සාකච්ඡා කර තිබේ.
ඒ මත අද අවසන් තීරණයක් ගැනීමට විපක්ෂ නායකවරයා සූදානම් වේ.
Discussion about this post