ජානක ලියනආරච්චි –
අනුරාධපුර යුගය මැද භාගයේ දී මේ රටේ අග්‍රබෝධි නම් රජකෙනෙක් රාජ්‍ය භාරය ඉසුලුවේ ය. ii දාඨෝපතිස්ස රජුගෙන් අනතුරුව රාජ්‍ය භාරය දැරූ එතුමෝ රාජවලියේ හඳුන්වා දෙන්නේ ivවන අග්බෝ නමිනි. ක්‍රිස්තු වර්ෂ 673 සිට 689 තෙක් පුරා 19 වසරක් රාජ්‍ය භාරය දැරූ එතුමන් අවසන් වකවානුවේ අනුරාධපුරය හැරපියා පොලොන්නරුවට ගොස් එහි වාසය කළහ.
රජවරුන් 177 දෙනෙක් ගැන කියැවෙන සිංහල රාජාවලියේ ivවන අග්බෝ සම්බන්ධව විශේෂකොට දක්වන සිද්ධියක් මහාවංශකරු ලියා තබන්නේය.
“ ඒ රජු මිය ගිය කල්හි ලක්දිව ජනතාව දැඩි ශෝකයට පත්ව හඬා වැලප ආදාහන කටයුතු නිමවා ඒ සොහොනේ අළු තමන්ට බෙහෙත් කොට යොදා ගත්හ. රජුගේ සියලු භාණ්ඩ ද සේනාවාහන ද ආරක්ෂා කොට ගරු සැලකිළි දැක්වූහ. “ මිනිස්සු ධාර්මික පාලකයින්ට ගරු කළහ.
ඒ එක් සටහනකි. තවත් කතාවක් තිබේ. සිංහල රාජාවලියේ පැනෙනා රජ කෙනෙක් දෙවි කෙනෙක් කොට වන්දනා කරන්නේ එක් අවස්ථාවක පමණි. ශාසනය ශෝභනය කළ බව කියන දුටුගැමුණු හෝ, මහා පැරකුම්බාවන් හෝ විජයබාවන් නොල ද ඒ ජනතා වරය ලැබෙන්නේ මහාවිහාරය සුන් කර එම භූමියේ උඳු වැපිරූ බව මහාවංශකරුම කියන මහසෙන් රජු වෙතය. එතුමන් කළ මින්නේරි වැවේ වෑ කන්දේ දෙවොලක අනන්ත පුද සත්කාර ලබමින් මින්නේරි දෙවියෝ අදත් වැඩ සිටිති. මහ පොළොවේ යාථාර්ථය ප්‍රායෝගික කළ පාලකයින් මිනිස්සුන්ගේ සිත්වල දෙවිවරු සේ වැඩ උන්හ. මිනිස්සු ප්‍රායෝගික පාලකයින්ට ගරු කළහ.
දේවත්වයෙන් වන්දනාවට පාත්‍රවන තවත් ප්‍රාදේශීය පාලකයෙක් ගැන කිව යුතුය. එතුමෝ සුදු අශ්වයෙක් මත වඩා හිඳුවා තවමත් වන්දනාවට ලක් කරන්නේ සනත් නිශාන්ත ජීවත්වන ආරච්චිකට්ටුවට නුදුරු මාදම්පේය. ඔහු අනන්ත වරක් මේ දෙවොල් භූමිය පසුකර යන්නට ඇත. එහෙත් මාදම්පේ තනියවල්ලභනම් අතීත ප්‍රාදේශීය නායකයා දෙවි කෙනෙක් කර පුත්තලම කොළඹ පාර අයිනේ දේවාලයක්කොට වඩා හිඳුවා මිනිස්සු අදත් වන්දනා කරන ගැඹුරු කතාවේ එක් අංශු මාත්‍රයක් සනත් නිශාන්ත දැනගෙන සිටියේ නැත.
මේ ඉතිහාස කතා දෙක ද සහිතව මේ කෙටි සටහන ලියා තබන්නේ මෑත ඉතිහාසයේ සෑම රජයකම ඇමතිකම් දැරීමේ අරුමය අත් විඳින මහින්ද අමරවීර ඊයේ කළ ප්‍රකාශයක් ඇසුන විටය.
රිය අනතුරකින් අකාලේ මිය ගිය සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයාට නිග්‍රහ කරන සමාජ මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයින් ගැන සොයා බලන බව ඔහු ප්‍රකාශ කළේය. ඒ ප්‍රකාශයේ ස්වරයෙහි ඔහු සහ ඔහු නියෝජනය කරන සමස්ථය සම්බන්ධව වූ තැති ගැනීම සහ කම්පනය ගැබ් වී තිබුණේය. ඔහු තතනමින් කියන්නට හදන්නේ ගෞරවනීය සංස්කෘතික සමාජයක අපේක්ෂාවන් බිඳ වැටී ඇති බවය.
කුමන ආකාරයේ විතර්ක පැවතිය ද පුද්ගලයෙකුගේ මරණය යම් නිහඬ බවකින් යුතුව දරා ගැනීමක් සිදුකළ සංස්කෘතික ශික්ෂණයක් මේ සමාජය තුළ පැවති බැව් සැබෑය. ඒ යමෙක් කළ අශිෂ්ට පාපකර්ම වේනම් එවාත් සමග ඔහු අපාගත වනු ඇති බවට වූ හැඟීමත් සමගිනි.
එහෙත් ඒ සංස්කෘතික සමාජය මේ දේශපාලන කාලකණ්ණිකම තුළම ව්‍යසනයට පත් කළ බව අප අත් දකිමින් ඉන්නේ අපගේම ජීවිත ඛේදවාචකයෙනි. මේ රටේ පාලකයින් දැන් අපෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද?
බෙහෙත් පෙත්තක් නැතිව අපේ සමීපතමයන් මිය යෑමට සැලැස්වූ පාලකයින්ට, දරාගත නොහැකි ජීවන බරක් පටවා දරු පැටවුන්ට අනාගතය හදනු තබා කෑමට බත් කටක් දෙන්නට අසමත් දෙමව්පියන් සහිත සමාජයක් හැදූ පාලකයින්ට, දරුවන්ගේ අධ්‍යාපනය විකල් කළ පාලකයින්ට, හාමත මන්දපෝෂණය නියත සමාජ සිද්ධියක් ලෙස රෝපණය කර ඉපදෙන්න ඉන්න උනුත් වහල් ණය කරුවන් බවට පත් කළ පාලකයින්ට සහ උන්ගේ ප්‍රතිපදාවට ආවරණය සලසමින් උන්ගේ පාදඩකම් අනුමත කරමින් උන් වෙනුවෙන් මිනිස්සුන්ගෙන් ගේම ඉල්ලන පුද්ගලයෙක් තමන්ගේ සුඛෝපභෝගී රථය අධිවේගයෙන් ධාවනය කරවා අනතුරකින් මිය ගිය විට ඔහුගේ මරණය සම්බන්ධව අතීත ivවන අග්බෝට සිදුකළ ආකාරයේ ප්‍රතිචාරයක් පාලකයෝ රටෙන් බලාපොරොත්තු වෙති.
ආණ්ඩුව වෙනුවෙන් එවැනි ඉල්ලිමක් අපෙන් ඉල්ලන ඇමති කෙනෙක් සම්බන්ධව මුලින්ම කළ හැක්කේ කණගාටුව පල කිරීම පමණය. පාර්ලිමේන්තු ඇමතිකම්වලට නාකි වූ මහින්ද අමරවිර සිය දේශපාලනයේ තුළ එක් අංශු මාත්‍රයක් සවිඤාණික නම් තෙරුම් ගත යුත්තේ මින්සුන් මේ කතා කරන්නේ සනත් නිශාන්ත ගැන නොව මහින්ද අරමවීරත් නියෝජනය කරන මේ රටේ පජාත දේශපාලනය සහ එම දේශපාලනය සම්බන්ධව සමාජය තුළ පවතින පිළිකුල ගැන බවය.
එම පිළිකුළ පුද්ගල මරණයක් හරහාත් ප්‍රකාශ වීමට තරම් සමාජය කැකෑරෙමින් ඇත. ඒ ප්‍රකාශනය සමාජ මාධ්‍ය වාරණ පනත්වලින් බේරා ගන්නට බැරිය. අර්බුදය එතැනය.
මෙතෙක් තමන් විසින් යාවත්කාලීන කරගෙනන පැමිණ තම දූෂිත දේශපාලන ඉරණමේ ස්වරූපය සමාජය තුළ රූපණය වන ආකාරය මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන බොහෝ දෙනෙකුට පෙනී යා යුතුය. මිය ගිය සනත් නිශාන්ත හරහා මතුවන මෙම විරෝධය දේශපාලන පක්ෂයක කුඩා කණ්ඩායමක තුච්ඡ දේශපාලන වෑයමක් කොට සලකන ලෙස අපට උපදෙස් දීමට එන මහින්ද අමරවීරගේ අනුකම්පා සහගත උත්සාහයේත් ඒ අවබෝධය සැඟවී ඇත.
මිනිස්සු මහ පාරට බැස ජනාධිපතිවරයෙක් ගෙදර යැවූ දැවැන්ත විරෝධය කුඩා කල්ලියක් වෙත බැර කර එය අන්තර්ජාතික කුමන්ත්‍රණයක් දක්වා ගෙන යමින් විවිධ නිර්වචන සපයන පාලකයින් තේරුම් ගත යුත්තේ මේ සමාජයෙන් දැන් ලැබී ඇති සංඥාව අරගලයෙන් මතුකළ විරෝධය තරම්ම ප්‍රබල බවය.
මිනිස්සුන්ගේ ඡන්දයෙන් මිනිසුන් විසින් පත්කළ නායකයන්ට හෙණ හත වදින්නට ශාප කරන තැනට මිනිසුන් පත්වූයේ කෙසේ ද යන්න පිළිබඳව මේ පාලකයින් තවමත් විග්‍රහ කරගන්නට හදන්නේ ඒ කල්ලියට මේ කල්ලියට කුමන්ත්‍රණ චෝදනා කරමිනි. සමාජයේ සබෑ වේදනාව කියවාගෙන තවමත් ස්වයං විවේචනයකට සූදානම් නොවූ මේ අවලංගු දේශපාලකයින්ට තමන්ගේ අනාගතය පෙන්වා ඔවුන්ගේ ඉදිරිපෙළ ගමන් සගයෙක් සිය ගමන නිමා කර ඇතිබව පමණක් දැන් විශ්වාස කරමු.
මහින්ද අමරවීරත් මේ කතාව කියවා ගත යුතුය. මිනිසෙකු ජීවත් විය යුත්තේ මරණ මොහොතේ සමාජය තුළ තමන් උපදවාගත් හැඟීම වෙනුවෙනි. මක්නිසාද යත් ජීවිත්වීම සහ ජීවිතය පිළිබඳ විශාලම අවශ්‍යතාවය ඇතිවන්නේ මරණ මොහොතේ දී වීමය. එවන් මොහොතක තමන් මරණයෙන් බේරෙන්නට ප්‍රාර්ථනා කරන මිනිසුන් නොව මරණයෙන් පසු අපාගත වීමට පළි ගහන මහා සමාජයක් ඔවුන් නිර්මාණය කරගෙන ඇත.
නින්දේ සිටි සනත් සිය ජීවිතයෙන් සමුගත් ආකාරය නොදත්තා විය හැකිය. නමුත් තමන් වැපිරූ බීජවල අස්වැන්න තමන්ට ලැබෙන ආකාරය පිළිබඳ යථාර්ථය සනත් නිශාන්ත ඔහුගේ සගයින්ට කියා දී ඇත.
මහින්ද අමරවීර ඇතුළු අදාල දේශපාලකයින්ට මිනිස්සු දෙන පණිවිඩය ඔවුන්ගේම පෝස්ට් එකකින් උපුටා දක්වමින් මේ කෙටි සටහන නිමා කරමු.
ඇමති තුමනි. මේ පෝස්ට් එකත් කියවා ගන්න… මිතුරන් අතරත් බෙදා ගන්න…








