මහත්වරුන් ලෙස ජනාධිපතිවරණය කිරීමට එක්වන ලෙසත් නීති විරෝධී කටයුතුවල අවසානය ජනාධිපති අපේක්ෂකත්වය අහෝසි වීම පමණක් නොව, ප්‍රජා අයිතිය නැති වීම තෙක් බිහිසුණු ඉරණමකට ලක් වීමට හේතුවන බවත් සිහි කරන්නේ යැයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැවසුවේය.
අද රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී මෙවර ජනාධිපතිවරණයට සහභාගීවන අපේක්ෂකයින් 39 දෙනාම ඉදිරියේ තබාගෙන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ශිෂ්ට සම්පන්න රටක මැතිවරණයක් පැවැත්විය යුතු ආකාරය සිහි කරමින් රටේ ඒ සඳහා පවතින නීති රාමුව විස්තර කළේය. ප්රජාතන්ත්රවාදය යනු නීති රාමුව තුළ අනෙකාගේ මතය සහ විශ්වාසය අනුව කටයුතු කිරීමට අනෙකාට ඇති අයිතිය පිළිගැනීම බව ඔහු පෙන්වා දුන්නේය.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක අද එම පැහැදිලි කිරීම සිදුකළේ මෙසේය.

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම පිළිබඳ පනතේ 5 කොටසේ 66අ වගන්තියේ සිට 75 – 7 වගන්තිය දක්වා වූ වැරදි පිළිබඳව ද ඡන්ද විමසීම් පනතේ 90 සහ 91 වැනි වගන්තිවලින් දැක්වෙන ඡන්ද පෙත්සම් පිළිබඳව ද, එසේම රාජ්‍ය දේපල අයුතු පරිහරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව 2024 ජූලි 26 වැනිදා නිකුත් කළ අංක 2394 /56 දරන අති විශේෂ ගැස්ට් පත්‍රයේ සඳහන් විධාන පිළිබඳව ද කරුණු දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති රත්නායක විසින් අද කරුණු දැක්වූයේය.
ප්රචාරක දැන්වීම් පත්‍රිකා සහ ධජ පතාක
ජනාධිපතිවයා තෝරා පත් කරගැනීම පිළිබඳ පනතේ 74 වැනි වගන්තිය යටතේ නාම යෝජනා දින සිට ඡන්දය අවසන් වනතෙක් අපේක්ෂකයෙක් තෝරා පත් කරගැනීමේ ඉඩ කඩ වැඩි කරගැනීම සඳහා හෝ තවත් අපේක්ෂකයෙක් අගතියට පත් කිරීම සඳහා ප්රචාරක පත්‍රිකා සහ අනෙකුත් දෑ බෙදා හැරිම සම්බන්ධ නීතිමය ප්‍රතිපාදන කෙරෙහි සියලුම අපේක්ෂකයන්ගේ සහ අධාර කරුවන්ගේ අවධානය යොමු කරනු ලැබේ. මෙම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් පොලිස් පතිවරයා වෙත යොමු කර ඇත.
මැතිවරණ ප්රචාරක දැන්වීමක්, එවැනි ඡායාරූප, එවැනි චිත්‍ර ඡන්ද ලකුණු ධජ පතාක යන ආදිය ප්‍රකාශ කළ හැක්කේ රැස්වීමක් පැවැත්වීමට නියමිත දිනයක එම ස්ථානය අසල හෝ එම ස්ථානයේ විධිමත් ලෙස අවසර ලබා ගත් නිවේදිත ඡන්ද කාර්යාලවල නිශ්චිත සීමා කිරිම්වලට යටත්ව පමණි.
පෙළපාළි සහ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය
නාම යෝජනා දිනයේ සිට ජනාධපතිවරණය අවසන් වී සතියක් ගතවනතුරු පෙළපාළි පැවැත්වීම තහනම්ය. මෙවැනි නිති විරෝධි පෙළපාළි නැවැත්වීමට මෙන්ම එවැනි අවස්ථා වීඩියෝගත කර අධිකරණයට වාර්තා කිරීමට ද පොලිසිය ක්‍රියා කරනු ඇත.
ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළ යුත්තේ පොලිසියේ අවසරය ඇතිව පමණකි. ඡන්දය ලබා ගැනීම සඳහා සංග්‍රහ කිරීම්, අල්ලස් ලබා දීම්, අයුතු බලපෑම්, දූෂණ ක්‍රියා සේ සැලකේ. ආගමික වැඩසටහන් වශයෙන් හෝ පූජනීය ස්ථානවල පැවැත්වෙන රැස්වීම් හරහා පක්ෂ අපේක්ෂක ප්‍රවර්ධනය අයුතු බලපෑම් යටතට ගැනේ.
රාජ්‍ය දේපල අවභාවිතය
රජයේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු මෙන්ම සංස්ථා බැංකු, මණ්ඩල ආදී ව්‍යවස්ථාපිත ආයතන ද, පලාත් සභා සහ පළාත් පාලන ආයතන යන සිල්ල ද, රාජ්‍ය ආයතන ලෙස සැලකේ. මෙම ආයතනවල රාජ්‍ය දේපල ජනාධිපතිවරණයේ දී පක්ෂ අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා, නැතහොත් අගතියට පත් කිරීම සඳහා භාවිතා කිරීම සපුරා තහනම්ය.
දේශපාලන අයිතිවාසිකම් අහිමි කිසිම නිලධරයෙකුට ජනාධිපතිවරණයට අදාල ඡන්දය දීම හැර වෙනත් කිසිම දේශපාලන ක්‍රියාවක නිරත විය නොහැකිය.
දේශපාලන අයිතිවාසිකම් හිමි සේවකයින්ට පවා කාර්යාල වේලාව තුළ දේශපාලනමය කටයුතුවල නිරත විය නොහැක. සෑම රජයේ නිළධරයෙකුම, සෑම රජයේ සේවකයෙකුම මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024 ජූලි 28 දිනැතිව නිකුත් කරන ලද අංක 2394/56 දරන ගැසට් පත්‍රය මගින් නිකුත් කළ විධානවලට යටත් විය යුතුය.
මෙම විධාන සියලුම රජයේ නිලධාරීන් විසින් පිළිපැදිය යුතු බව ලිපි මගින් රූපවාහිනී මගින් ගුවන් විදුලි මගින් පුවත්පත් මගින් ප්‍රකාශයට පත් කර ඇත. එම විධාන අනුගමනය කරන ලෙස මේ අවස්ථාවේ දී සියලුම රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
එසේම එම විධාන කඩකිරීමට කිසිම නිලධාරියෙක් පෙළඹවීමෙන් වලකින ලෙස මේ ස්ථානයේ සිටින සියලුම අපේක්ෂකයින්ගෙන් නියෝජිතයන්ගෙන් සහ ආධාර කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.
නීති කඩන්න එපා… අපේක්ෂකත්වය පමණක් නොව ප්‍රජා අයිතියත් අහිමි විය හැකියි
අපේක්ෂකයින් සිය නියෝජිතයින් සහ අවශ්‍යවන විට පක්ෂයේ සාමාජිකයින් මෙන්ම උද්යෝගීමත් ආධාරකරුවන් එසේ නොකරනු ඇතැයි ද කිසිවෙකු ඔබ එසේ කිරීමට ඉඩ නොදෙනු ඇතැයි ද මැතිවරණ කොමිෂන් සභාව ඉතා ඕනෑකමින් අපේක්ෂා කරයි.
අප ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ඔබේ ආධාරකරුවන් කිසිවෙකුටත් මේ නීති විරෝධී ක්‍රියා සිදුකිරීමට ඉඩ නොදෙන ලෙසයි. කරුණාකර එම නොමනා ක්‍රියාවලින් වැළකෙනු මැනවි.
වැරදි දූෂණ ක්‍රියා නීතිවිරෝධී ක්‍රියා සිදුකිරීම හා විධාන උල්ලංඝණය කිරීම පිළිබඳ දඬුවම ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම පිළිබඳ පනතේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම දක්වා තිබේ. මෙම ඇතැම් වැරදි සඳහා දඬුවම තේරී පත්වීම අවලංගු වීම, ප්‍රජා අයිතිය අහිමි වීම තරම් බරපතල බවද කාරුණිකව පෙන්වා දෙනු කැමැත්තෙමි.
ආචාරධර්ම පද්ධතිය
ප්රජාතන්ත්රවාදී හා ශිෂ්ට සම්පන්න රටවල ඡන්ද විමසීම සඳහා තරග කරන අපේක්ෂකයන්ට හා රටේ පාලනය සඳහා ක්‍රියා කරන දේශපාලකයින්ට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දී තිබේ. ඒ අනුව සහ අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දැන් කලෙක සිට ශ්‍රි ලංකාවේ ද අපේක්ෂකයන් සහ දේශපාලකයින් වෙනුවෙන් මැතිවරණ සඳහා ආචාර ධර්ම පද්ධතියක් කොමිසම විසින් හඳුන්වා දී තිබේ. එකී ආචාරධර්මවලට අනුව ක්‍රියා කිරීම සියලුම අපේක්ෂකයන්ගේ සහ ඔවුන් ට සහාය ලබාදෙන දේශපාලඥයින්ගේ වගකීම බව කාරුණිකව අවධාරණය කරනු ලැබේ.
මෙම ආචාර ධර්ම මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024 ජූලි 26 වැනිදා දිනැති 2394/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මාධ්‍ය භාවිතය
මෙම ඡන්ද විමසීම් කාලසීමාව තුළ කවදාටත් වඩා මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් කිසිවෙකුට බැඳීමක් හෝ විරුද්ධත්වයක් නොමැතිව ක්‍රියා කිරීමට රාජ්‍ය මාධ්‍ය ආයතන නීතියෙන් බැඳී සිටී.
මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ අංක 2394/57 සහ 2024 ජූලි 26 වැනි දින දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් මාධ්‍ය උපමාන රාජ්‍ය මාධ්‍ය නිවැරදිවම පිළිපැදිය යුතු
මෙම මැතිවරණ සමයේ දී පෞද්ගලික රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා පවා එක් අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කිරීම සඳහා පමණක් ක්‍රියා කිරීමෙන් හා අනෙක් අපේක්ෂකයින් අගතියට පත් කිරීමට ක්‍රියා කිරීමෙන් වැලකිය යුතුය.
මේ සම්බන්ධයෙන් ඇවැසි නිියාමන ක්‍රියාවලියේ යෙදීමට මෙම සංඛ්‍යාතවල හිමිකාරිත්වය හා පාලන බලය සතු රාජ්‍ය ආයතන ක්‍රියා කරනු ඇත. එසේ ක්‍රියා කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් ඔවුන්ට නියමකොට විධාන කොට තිබේ.
මෙම උපමාන පෞද්ගලික හිමිකාරිත්වයේ ඇති මුද්‍රිත මාධ්‍යවලට ද අදාලය. 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා ගැනීම පිළිබඳ පනතේ 83 වැනි වගන්තිය අනුව අසත්‍ය නැතහොත් සනාථ කළ නොහැකි ප්රවෘත්ති තොරතුරු පලකිරීමෙන් වැලකී සිටීමට පුවත්පත් සංස්කාරකවරුන් බැඳී සිටී.
එම වරද කළහොත් දණ්ඩනය ද එම පනතින් නියම කර තිබේ. මෙම වගන්තියේ සඳහන් කරුණුවලට අනුකූලව ක්‍රියා කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම විද්‍යුත් මාධ්‍ය වෙතින්ද ඉල්ලා ඇත.
එමෙන්ම එක් අපේක්ෂකයෙක් වෙනුවෙන් පමණක් පෙනී සිටීමෙන් වැලකී සිටීම සියලුම පුවත්පත්වල ද අනිකුත් මාධ්‍යවල ද වගකීමක් වේද
ස්වකීය අපේක්ෂකත්වය සහ තමන්ට සහාය දෙන දේශපලන පක්ෂ සහ දේශපාලඥයින් ප්‍රවර්ධනය කිරීම සඳහා හෝ අන් අපේක්ෂකයින්, දේශපාඥයින්, දේශපාලන පක්ෂ අගතියට පත් කිරීම සඳහා අසීමිත පරිදි තමන් සතු ජනමාධ්‍ය භාවිතා කිරීමෙන් වැළකී සිටින ලෙස මෙන්ම කැපී පෙනෙන අයුරින් තමන්ට සහාය දැක්වීමට ක්‍රියා නොකරන ලෙස සියලුම ජනමාධ්‍ය ආයතන දැනුම්වත් කරන ලෙස මෙම ස්ථානයේ සිටින සියලුම අපේක්ෂකයින්ගෙන් නියෝජිතයින්ගෙන් සහ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. එය ඔබගේ වගකීමක් බව පෙන්වා දෙනු කැමැත්තෙමි.
මාධ්‍ය අවභාවිතය සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව වෙත නිරන්තරයෙන් පැමිණිලි ලැබේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ අපේක්ෂකයනුත් ඔවුන්ගේ නියෝජිතයනුත්, දේශපාල පක්ෂවල ලේකම්වරුනුත් අනිකුත් සියලුම දේශපාලඥයනුත් පෞද්ගලික ජනමාධ්‍ය වෙත මෙම පණිවිඩය දැනුම් දෙනු ඇතැයි විශ්වාස කරමු.
ඇතැම් කරුණු නීතියෙන් සකස් කළ නොහැකිය. සාකච්ඡාවෙන් සම්මුතියෙන් සහ එකඟත්වයෙන් ඒවා සිදුකළ යුතුය.
සමාජ මාධ්‍ය
සමාජ මාධ්‍ය ජාලා හරහා තොරතුරු හුවමාරු කිරීම අද සමාජයේ ප්‍රමුඛම සන්නිවේදන ක්රමවේදයයි. සමාජ මාධ්‍ය ජාලයන් හරහා අසත්‍ය තොරුතුරු ප්‍රචාරය කිරීමෙන්, වෛරී අදහස් පැතිරවීමෙන් හා එවැනි දෑ සමාජගත කිරීමෙන් වැළකී සිටින ලෙස ශ්‍රී ලංකාවේ සහ විදේශගතව සිටින සියලුම පුරවැසියන්ගෙන් කරුණාවෙන් සහ ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනු ලැබේ.
එමෙන්ම වගකීම් සහිතව සමාජ මධ්‍ය භාවිතා කරන ලෙස ස්වකීය පාක්ෂිකයන්ගෙන් සහ හඳුනන නොහඳුනන තමන්ගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටින ලෙස මෙහි පැමිණ සිටින සියලුම පේක්ෂකයින්ගෙන් නියෝජිතයන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව කාරුණිකව ඉල්ලා සිටී.
ඡන්දය දෙන අවස්ථාව
ඡන්දය දෙන අවස්ථා ඡායාරූපගත කිරීම හා ඡන්දය දුන් ආකාරය ප්‍රසිද්ධ කිරීම, ඡන්දය දෙන ආකාරය හෝ ඡන්දය දී ඇති ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කිරීම හා එවැනි ඡායාරූප ප්‍රසිද්ධියට පත් කිරීම නොකළ යුතු බව මෙහිදී අවධාරණය කරනු ලැබේ.
තමන් ඡන්දය දුන් ඡන්ද පත්‍රිකාව ප්‍රදර්ශනය කිරීම ඳඩුවම් ලැබිය හැකි වරදකි.
මෙම ඡන්ද විමසීමේ දී සියලුම අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ, දේශපාලනඥයින් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ජන මාධ්‍ය, නිරීක්ෂණ සංවිධාන, පුරවැසි සංවිධාන, වෘත්තීයවේදීන්ගේ සංවිධාන, සමාජ ජාලා ක්‍රියාකාරිකයින්, මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් හා තේරීම් භාර නිලධාරීන් සහ දිස්ත්‍රික් නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ඇතුළුව සියලුම රජයේ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, ආරක්ෂක අංශ සාමාජිකයින් හා සියලුම පුරවැසියන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවත්වීමට සහාය වනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව දැඩි ලෙසම විශ්වාස කරනු ලැබේ.
ප්රජාතන්ත්රවාදී සමාජයක පදනම ජනතාවගේ කැමැත්ත මත පාලකයින් තෝරා ගැනීමවන හෙයින් ඡන්ද විමසීම නිදහස්ව, සාධාරණව විනිවිදබවින් යුතුව, විශ්වාසනීයව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව උපරිම ශක්තිය යොදා ක්‍රියා කරනු ඇත.
ඒ සඳහා ඔබ සැමගේ සහාය මැතිවරණ කොමිෂන් සභාවට අවශ්‍ය හෙයින් කරුණාකර එම සහාය ලබා දෙනු මැනවි.
පරිසර අමාත්‍යාශයේ ලේකම් ඉල්ලා සිටින පරිදි 2017.09.02 දින දරන ගැසට් පත්‍රය ප්‍රකාරව ප්ලාස්ටික් සහ පොලිතින් තහනම් කර ඇති බැවින් මෙවර ජනාධිපතිවරණ සමයේ දී ප්ලාස්ටීක් සහ පොලිතින් භාවිතයෙන් වලකින ලෙස අපේක්ෂකයින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ඇත.
අප කළ යුතු සියලුම යහපත් ක්‍රියා කරමු. නොකළ යුතු අයහපත් ක්‍රියාවලින් සම්පූර්ණයෙන් වළකිමු.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේය.







