පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාර තුළ කළ හදිසි සෝදිසි කිරීමකදී ඉතා ඉහල වටිනාකමක් ඇති ජංගම දුරකථන ඇතුලු උපාංග විශාල ප්‍රමාණයක් හා හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
විශේෂ කාර්ය බලකාය බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම හදිසි මෙහෙයුම සිදුකර ඇත. බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ පැරණි අංශයයේ A,B,C හා D යන වාට්ටු තුළ අදාල හදිසි සෝදීසි කිරීම දියත් කර තිබිණි.
එහි දී ජංගම දුරකථන 11 ක්, සිම්පත් 13 යි, චාජර්, පොකට් රවුටර්, එම අමතර බැටරි, ඩේටා කේබල්, Adapter හා තවත් උපකරණ සමග හෙරොයින් ග්‍රැම් 03කුත් මිලි ග්‍රැම් 150 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01ක්, දුම් කොල විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී තිබේ.
අත් අඩංගුවට ගත් ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දීමට කටයුතු කර ඇත. මින් පෙර ද බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ අවස්ථා ගණනකදී හදිසි විශේෂ මෙහෙයුම් සිදුකර ජංගම දුරකථන ඇතුළු උපාංග අත් අඩංගුවට ගෙන තිබිණි. බන්ධනාගාරයේ අධි ආරක්ෂිත කුටිවල සිටින ලංකාවේ ප්‍රධාන පෙළේ අපරාධකරුවන් විසින් මෙතෙක් බාධාවකින් තොරව ස්වකීය ජවාරම් බන්ධනාගාරය තුළ සිට මෙහෙයවමින් සිටීම පිළිබඳ ගැටලුවට මේ වනතුරුත් සාධනීය පිළිතුරක් ලැබී නැත.







