ජානක ලියනආරච්චි –
කීර්තිමත් රාජ්‍ය නිලධාරියකු ලෙස ප්‍රකට මධ්‍යම පළාත් හිටපු විගණනනාධිකාරී මෙන්ම විගණන දෙපාර්තමේන්තුවේ අතිරේක විගණකාධිපති ලලිත් අඹන්වල අභාවප්‍රාප්ත වන්නේ වර්ෂ 2021 මැයි මස 14 වැනිදා ය. ඔහු මේ තරම් කලින් මිය යන්නට සිටි මනුෂ්‍යයෙක් නොවේ. දූෂිතයින්ගේ ඇසිඩ් පහරවලට ලක් වෙමින් අනන්ත දුෂ්කරතා දරාගෙන ජීවිතය සමග පොරබදා අවසන් මොහොත වනතුරු සිය රාජකාරිය අකුරට ඉටු කර යන්නට ගිය විශිෂ්ට මිනිසෙකි.
වසර තුනකට පසු යළිත් මේ උතුම් රාජ්‍ය නිලධාරියා සම්බන්ධව සමාජ සංවාදයක් ඇති වී තිබේ. ඒ රටේ හිටපු ප්‍රධාන කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් එකම හෑන්ඩ් කප් එකක දමා අවුරුදු 20ක් සහ 25ක් මහ උලු ගෙදරට යැවූ ඉතිහාසගත විමර්ශනය සම්බන්ධ කතාව සංවාදයට නැගෙද්දීය.
බැසිල් රාජපක්ෂගේ මැදිහත්වීම මත එවකට සතොස සභාපති බැසිල්ගේ ගෝලයා වූ නලීන් ප්‍රනාන්දුත් එවකට ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේත් යොදාගෙන රාජ්‍ය මුදල් යොදා ගනිමින් 2015 මැතිවරණයේ දී සිය දේශපාලන පක්ෂයේ තරුණ ශාඛා සංවිධාන වෙත කැරම් බෝඩ් සහ දාම් බෝඩ් බෙදා දීමේ කුපාඩිකමට අදාලව සියලුම ලියකියැවිලි යහපාලන ආණ්ඩුව වකවානුවේ පිහිටවු FCID වෙත ලබා දීමට කටයුතු කරනු ලැබුවේ ලලිත් අඹන්වලය. ලලිත් අඹන්වල නොසිටින්නට කැරම්බෝඩ් නඩුව ගොනුවන්නේ නැති බව නඩුවේ පැමිණිලිකරුවෙකු වන හිටපු ජ්‍යෙෂ්ඨ විගණන නිලධාරී, ජාතික ලොතරැයි මණ්ඩලයේ වත්මන් සභාපති සිරිල් ඇන්ටන් පෙරේරා සිය මුහුණුපොතේ ද සටහන් කර තිබිණි.
අද ජීවතුන් අතර නැති ලලිත් අඹන්වල මේ රටේ මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රාර්ථාවන් කුමක්ද යන්න සිය ජීවිතයෙන්ම වන්දි ගෙවා වසර ගණනාවකට පෙර පෙන්වා දුන් රාජ්‍ය සේවකයෙකි. රාජ්‍ය සේවයේ වගකීම, වගවීම සහ රටේ රාජ්‍ය සේවය පැවැතිය යුතු ආකාරය සම්බන්ධව ආදර්ශයක් ජීවිත පරිත්‍යාගයෙන් ලබා දුන් මනුෂ්‍යයෙකි. දූෂිතයින්ගෙන් ඇසිඩ් පහර කා පැමිණි මරණය සමගින් ජීවිතය දරාගත් මනුෂ්‍යයෙකි.

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිද්ධිය
ලලිත් අඹන්වල රටම දැන ගන්නේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වූ සිද්ධියක් සමගය.
දෙනෝ දාහක් බලා සිටිද්දී නුවර වැවරවුමේ දී මධ්‍යම පළාත් විගණන අධිකාරී ලලිත් අඹන්වලට ඇසිඩ් ගසා මරා දමන්නට උත්සාහ කළේය. ඒ වර්ෂ 2002 මැයි මස 20 වැනිදාය.
මෙම ප්‍රහාරය එල්ලවන විට සරත් අඹන්වල විගණකාධිපති දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාලයේ විගණන අධිකාරීවරයා වූයේය. හෙතෙම මේ සමාජයේ හයිරං කාරයින්ගෙන් ගුටි කෑමේ හෝ මරණයට ලක් වීමේ අවදානම ඇතිවන ප්‍රමාණයටම නිවැරදිව රාජකාරි කළ නිලධාරියෙකි. ඒ වනවිට මහනුවර පිහිටි මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය අලඡ්ජී හොරුන්ගෙන් ගහණ අම්බලමක්‌ව පැවතෙමින් තිබුණේය. එවකට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරීවරයා වූ ආනන්ද වීරසිංහත් පළාත් අධ්‍යාපන අධ්යක්ෂ වරයා ලෙස කටයුතු කළ ආනන්ද මුණසිංහත් ඔවුන් හා සම්බන්ධ ගෝල පිරිසත් විලි ලඡ්ජා නැති ලෙස රජයේ මුදල් කොල්ලකමින් සිටියහ. මේ නින්දා සහගත හොරකම සියලු ලිඛිත සාධක සහිතව හෙළිදරව් කරගැනීමට මෙම ආයතන විගණනය කළ ලලිත් අඹන්වලගේ කණ්‌ඩායමට හැකි වූයේය. කාලයේ හැටියට මේ මුදල් සොරකම් සිල්ලර නොවීය.
අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ ගුණාත්මක බව වැඩි දියුණු කිරීමට ගුරුවරුන් හා අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ සම්පත් දායකයන් ඉලක්‌ක කොටගෙන රජය මගින් වාර්ෂිකව සේවාස්‌ථ පුහුණු සැසි සඳහා මුදල් වෙන් කරනු ලබයි. වර්ෂ 1999, වර්ෂ 2000 හා වර්ෂ 2001 වලදී එම පුහුණු සැසි මේ නිලධාරීන් විසින් පැවැත් වූයේ නැත. එහෙත් එම සැසි පවත්වා තිබූ බව ව්‍යාජ ලිපි ලේඛණ මගින් පෙන්වා රුපියල් පනස් හතර ලක්‌ෂ අසූ හය දහස් හාරසිය හතලිස් තුනක් හොරකම් කර තිබිණි. නොපැවැත්වූ සේවාස්‌ථ පුහුණු සැසි සඳහා විශ්ව විද්‍යාල, ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වැනි ආයතනවල කථිකාචාර්ය වරුන් හා නිලධාරීන් සහභාගී කරගත් බවට වූ ලිපි ලේඛන වූයේය. ඔවුන්ට කළ ගෙවීම් ගැනද සඳහන් විය. වැදගත්ම සිද්ධිය වන්නේ මේ මනඃකල්පිත පුහුණු සැසි අධීක්‌ෂණය කිරීමට යෑයි කියමින් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධ මාණ්‌ඩලික නිලධාරීන් රුපියල් පන්ලක්‌ෂ හය දහස් අටසීයක් දීමනා ලෙස ලබාගෙන තිබීමය.
මීට අමතරව දෙනෝදාහක් ඉදිරිපිට රුපියල් කෝටි ගණන්වල ටෙන්ඩර් මගඩි සිදුවෙමින් තිබුණේය. එවකට මධ්‍යම පළාතට අනුමතව තිබූ පරිගණක හා උපාංග වෙනුවෙන් මේ නිලධාරීන් රුපියල් එක්‌කෝටි හැත්තෑ දෙලක්‌ෂ හැටදාස් එකසිය හතලිස් පහක් ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් එක්‌තරා ආයතනයකට ගෙවා තිබිණි. ප්‍රමිතියෙන් තොර ගර්හිත තත්ත්වයේ පැවති එම පරිගණක සඳහා අනුමත මිලට වඩා රුපියල් තිස් හය ලක්‌ෂ දාසය දහසක මුදලක් එම ආයතනයට ගෙවීමට මොවුහු කටයුතු කළහ. වරෙක රුපියල් දාහත් ලක්‌ෂ අනූ එක් දහසක් ගෙවා මිලදීගෙන තිබූ මැග්නටික් බෝඩ් හයසිය අනූවක් පාවිච්චි කළ නොහැකිව ගබඩාවල පුස්‌කමින් පැවතිනි. එවැනිම ප්‍රමිතියෙන් තොර ළමා ඩෙස් පුටු තොගයක් සඳහා තිස් හතර ලක්‌ෂ තිස් දහස් අටසියයක් එක් ආයතනයකට ගෙවූ බව හෙළිවිය. ඒ සමගම මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මිලදී ගත් ප්‍රමිතියෙන් තොර තවත් පරිගණක තොගයක් වෙනුවෙන් රුපියල් පනස් ලක්‌ෂ හැට තුන් දහස් හයසිය හතලිහක් වැය කර තිබූ බව තහවුරු විය. එමෙන්ම පිළිගත් තත්ව සහතික සහිත, ටෙන්ඩර මණ්‌ඩලය විසින් අනුමත කළ ඉලෙක්‌ට්‍රොනික් ගණක යන්ත්‍ර තොගයක් මිලදී ගැනීමට යැයි කියා ඒ මුදලම වැය කරමින් කිසිදු ප්‍රමිතියකින් තොර ගණක යන්ත්‍ර මිලදීගෙන එම ගනුදෙනුවෙන් පමණක් රුපියල් නවලක්‌ෂ හැත්තෑදහස් හයසිය හතලිහක් හොරා කෑ ආකාරය අතටම හසුවූයේය. ලලිත් අඹන්වල එවකට පළාතේ සිටි විගණකාධිකාරී ලෙස මේ නින්දා සහගත ගනුදෙනුවල ස්‌වරූපය වගකීම් සහිතව හෙළිදරව් කළේය.
රාජ්‍ය දේපල අලජ්ජී ලෙස කොල්ලකන මේ මිනිසුන්ගේ නිරුවත ඔහු විසින් ලිපි ලේඛනද සහිතව එවකට මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම්ට, මධ්‍යම පළාතේ අධ්‍යාපන අධ්‍යක්‌ෂ වරයාට, පාර්ලිමේන්තු ගිනුම් කාරක සභාවට විගණකාධිපතිවරයා හරහා දැනුම් දුන්නේය. අවසානයේදී උද්ගතව ඇති තත්ත්වය පැහැදිලි කරගැනීමට 2001 ජූනි 23 වැනිදා මේ පිරිස පාර්ලිමේන්තු ගිනුම් කාරක සභාවට කැඳවා තිබිණි.
ඇසිඩ් ගැසීම
මේ අතරතුර කාලයේදී අඹන්වලට මරණ තර්ජන එල්ල කරමින් දෛනිකව දුරකතන ඇමතුම් පැමිණියේය. ඔහුට ඇසිඩ් ගසා මරණ බව පුන පුනා කියෑවිණි. අඹන්වල මේ පිළිබඳව පොලීසියට ද පැමිණිලි කළේය. අවසානයේදී වර්ෂ 2002 මැයි මස 20 වැනිදා හවස් වරුවේ මහනුවර නගර මධ්‍යයේදී අඹන්වලට මාරාන්තික ඇසිඩ් ප්‍රහාරයක් එල්ල විණි. ඔහු නොමැරී බේරුණේය. ඔහුගේ එක් ඇසක් අන්ධ විය. අනෙක් ඇස අන්ධ වන නොවන මට්‌ටමට විනාශ වී ගියේය. මුහුණ කට පිළිස්‌සී විකෘති විණි. ජීවිතය බේරා ගැනීම සඳහා කළ ප්‍රතිකාරවලට මිලියන ගණනක් වැය වූයේය. ඔහුත් ඔහුගේ දරුවන් දෙදෙනා හා බිරිඳත් පුරා වසර දහයක් මැරි මැරී ජීවත් වූහ. අප ජීවත් වෙමින් සිටියේ පගාවක් නොදී ආණ්‌ඩුවේ කාර්යාලයක කැන්ටිමකින් ප්ලේන්ටියක්‌වත් බොන්නට බැරි රටකය.
මේ අපරාධය සැලසුම් වී තිබූ ආකාරය අඹන්වලට ඇසිඩ් ගැසීමේ සිද්ධියේ කම්පනයටත් වඩා වැඩි කම්පනයක් සමාජය තුළ ඇති කළේය. මේ අපරාධය සැලසුම් කර මෙහෙයවා තිබුණේ එවකට සිටි මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ වරයා විසිනි. ඔහු හා එක්‌ව සිටියේ මධ්‍ය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරීවරයාය. නඩුවේ තීන්දුව අපරාධය සම්බන්ධව නීතිපතිවරයා විසින් මෙම අධ්‍යාපන අධ්‍යක්‌ෂවරයා හා ගණකාධිකාරීවරයා ප්‍රමුඛ හත් දෙනෙකු වෙත චෝදනා අටක් මුල් කරගනිමින් වර්ෂ 2006 ජනවාරි 27 වැනි දින මහනුවර මහාධිකරණයේ දී අධි චෝදනා පත්‍ර ගොනු කර තිබිණි.
2002 පෙබරවාරි මස 01 වැනි දින සිට 2002 මැයි මස 20 වැනිදා දක්‌වා කාලයේ දී විගණන අධිකාරී ලලිත් අඹන්වලට බරපතළ තුවාල කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම හා එම කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස ලලිත් අඹන්වලට ඇසිඩ් ගසා තුවාල සිදුකිරීම සිදු කරන ලද බැවින් දණ්‌ඩ නීති සංග්‍රහයේ 113 (ආ), 102 හා 317 වගන්ති යටතේ මෙම චෝදනා ගොනු විය. පුරා වසර හයකුත් මාස අටකට අධික කාලයක් පැවති නඩුවේ තීන්දුව 2010 මාර්තු බදාදා( 24 ) ප්‍රකාශයට පත්විනි.
එවකට මහනුවර පළාත්බද අධිකරණයේ මහාධිකරණ විනිසුරු අද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් වූ ප්‍රීති පද්මන් සූරසේනය. ලලිත් අඹන්වලට ඇසිඩ් ගැසූ බවට චෝදනා ලද මහනුවර හිටපු අධ්‍යාපන අධ්‍යක්‌ෂ ආනන්ද මුණසිංහත්, මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ගණකාධිකාරී ආනන්ද වීරසිංහත් ව්‍යාපාරික මොහමඩ් රාසික් මොහමඩ් රිහාන්, හුසේන් සෙයිදු මොහමඩ් ෂා , එච්. ඒ. ඕමාර් ලෙබ්බේ මරික්‌කාර්, මොහමඩ් නිලපර්, මොහමඩ් ජුනයිදීන් මොහමඩ් රියාල් ඉෆ්රූල් රහමන්, මොහමඩ් හනී මොහමඩ් ඉම්ටියාස් යන මුස්‌ලිම් ජාතියකයන් පස්‌දෙනාත් ඇතුළු 08 දෙනාම වැරදිකරුවන් කරමින් තීන්දුව නිකුත් විය.
ඇසිඩ් ප්‍රහාරය එල්ල කරන ලද තිදෙනාට තවත් වසර 20ක සිර දඬුවමක් ලබා දුන් අතර මෙය සැලසුම් කරන ලද පුද්ගලයින් දෙදෙනාට චෝදනා තුනකට වසර විස්ස බැගින් වසර 60ක සිර දඬුවමක් නියම කරන ලද්දේ එය එකවර වසර 20කින් ගෙවී යන ලෙසයි. ඉතිරි පස් දෙනාට වසර 10ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියමවිය.
තීන්දුව ප්‍රකාශ කළ පසු අඹන්වල කී කතාව
නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ පසු දිනෙක ඔහු සමග කතා කළෙමු. ඒ එවකට අප සේවය කළ දිවයින පුවත්පත වෙනුවෙනි. එවකට දිවයින ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරිල් විමලසුරෙන්ද්‍රයන් ඔහු සමග සම්බන්ධ වූයේය.
“පසුගිය වකවානුව පුරාම මායි මගේ දරු පැටව් දෙන්නයි බිරිඳයි අප්‍රමාණ වේදනා වින්දා. මම ඒ වේදනාව වින්දෙ මගේ රාජකාරිය හරියට කරන්න ගියපු වරදට. මම විගණකාධිපති දෙපාර්තමේන්තුවට එක් වන්නෙ වර්ෂ 1986 දී. අදත් මම මගේ දරු පවුලත් එක්‌ක ජීවත් වන්නේ අවුරුදු දෙසීයකට වඩා පැරණි මගේ මහගෙදර. අයථා ලෙස එක සතයක් මා උපයාගෙන නෑ. තවමත් මා ගත කරන්නේ සාමාන්‍ය ජීවිතයක්”
“මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පරිගණක මිලට ගැනීමේ සිද්ධියක් සම්බන්ධව විගණන කටයුතු සිදු කරන කාලෙදී මට යම් යම් පුද්ගලයන්ගෙන් තර්ජන ආවා. මට අනතුරක් තියෙනවා කියලා මට හිතවත් ගොඩක් දෙනෙක් කිව්වා. ඒත් මිනිස්‌සු මට මෙච්චර දරුණු අපරාධයක් කරයි කියලා මට හිතුනෙ නෑ. දැන් මට මගේ එක් ඇසක් අහිමියි. එක් ඇසකට ප්‍රතිකාර කරනවා. 2002 මැයි 20 වැනිදා ඉඳලා මේ අපරාධයෙන් මාත් මගේ දියණියන් දෙදෙනාත් බිරිඳත් නොවි`දිනා වේදනා වින්දා. මෙවන් දුකක් කිසිවෙකුට සිදුවිය යුතු නෑ. මට අහිමි වුණ දේ කාටවත් ලබාදෙන්න බෑ.”
“ඒත් මේ නඩු තීන්දුව හරහා රටට අතිශයින් වැදගත් පණිවුඩයක් ලබා දෙනවා. මහජනතාවගේ දේපළ නීති විරෝධී ලෙස පරිහරණය කරන මිනිස්‌සුන්ට කළකම් පලදෙනව. ඒ වගේම මේ නඩුවෙන් ද`ඩුවම් ලැබූ පුද්ගලයන්ගෙ ජීවිතවලින් තවත් පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. කුමන තරාතිරමක තනතුරක සිටින පුද්ගලයෙක් වුණත් නොමගට යා හැකියි. තමන්ට ලැබෙන වැටුපෙන් තම ජීවිත පුරුදු හැඩගසාගන්න නොපෙළඹීමත් ඒ පුද්ගලයන්ගේ බිරින්දෑවරුන් තමන්ගෙ සැමියන්ට ලැබෙන පඩිය දැන දැනත් ඔවුන් මහා ආදායම් උපයනකොට ඒ පිළිබඳව නොවිමසා සැමියන්ට ඒ සඳහා අනුබලදීමත් මෙවැනි නොමග යැම්වලට මුලයි. කෙසේ නමුත් මම මේ නිලධාරීන්ට ඉතාම කාරුණිකව වරද පෙන්වා දුන්නා. ඔවුන්ට කිව්වා රජයට ලැබිය යුතු මහජන මුදල් ගෙවා කරදර වීමකින් තොරව නිදහස් වන ලෙස. ඒත් ඔවුන් කළේ මාව විනාශ කරන්න කුමන්ත්‍රණය කිරීමයි. ඉතා පහසුවෙන් විසඳගෙන තමුන්ගෙ නම්බුව රැකගන්න තිබුණු අවස්‌ථාවක් මේ අය විසින් නැතිකරගත්තා. ඔවුන්ගෙ ගමන අවසන් වුණේ හිර ගෙදරින්.”
බැසිල්ට සහ ඔහුගේ කුණු පනුවන්ට ඇසුනේ නැති අඹන්වල කී කතාව
ලලිත් අඹන්වල එදා කී කතාව බැසිල් රාජපක්ෂ ඇසුවේ නැත. ඔහුගේ කුණු වලේ කුණු පනුවන් ගසමින් ජාවාරම් කර පසුව මේ රටේ කැබිනට් ඇමතිකමකටත් පොහොට්ටුවේ ආණ්ඩුව විසින් ඔසවා තැබූ නලීන් ප්‍රනාන්දුට දැනුනේත් නැත. ඒ දේශපාලන කුණුගොඩේ කුණු රහට උරා බොමින් අන්ත දහදුරාවෙක් ලෙස හැසිරුන මහින්දානන්ද අලුත්ගමගේට පෙනුනේත් නැත. ලලිත් අඹන්වලට හෙළි කළ අපරාධයට අඹන්වල මරන්නට ගොස් අශිෂ්ටයින් හිරේ ගොස් අවුරුදු 15කට පසු මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු අවුරුදු 20කට සහ 25කට හිරේ යන්නේය. ඒ ලලිත් අඹන්වල විසින් සපයා දුන් තොරතුරු සහ දත්ත මත පදනම්ව අධිකරණය ඉදිරියේ ගොනුකළ නඩුවකට අදාලවය. ඒ වනවිට ලලිත් අඹන්වල ජීවතුන් අතර නැත.
දැන් මේ දූෂිතයින්ට නඩු දැම්මේ කවුද?. ලකුණු දාගත්තේ කවුද?. ආදී වශයෙන් නැගෙන ගර්හිත දේශපාලන ගෝෂාව තුළ මේ සමාජ ජයග්‍රහණ යටවත් කළ යුතු නැත. ක්‍රියාවලියක් ඇරඹී තිබේ. ඒ සමාජ සාධන ක්‍රියාන්විතය ඒ බරින්ම ක්‍රියාත්මක කිරීමේ වගකීම නැවතත් මේ සමාජයටම පැවරී ඇත. එය නැවත දේශපාලනයක් අත පත් කළ යුතුව නැත. කිසිම දියුණු රටක් භෞතිකව හෝ අධ්‍යාත්මිකව දියුණුවූයේ මහා ආර්ථික සංග්‍රාමවලට පදනම දැමූ මනුෂ්‍ය ආකල්පවල විනය සහ සමාජ සාධාරණ නෛතික රාමුවක ප්‍රබල ආකෘතික රාමුවක් තුළය. වෙනස ඇත්තේ සිතිවිල්ලක දුරය. සුව පහසු ගර්හිත ආත්මාර්ථයෙන් මිදී තමන්ගේ දරුවාගේ හෙට දවස ගැන සිතන්නට මේ රටේ පොදු මනුෂ්‍යයා පිවිසෙන දිනයට මේ රට වෙනස් වනු ඇත.
තේරුම්ගත යුත්තේ සමාජයක මහා ජීවිත අභිලාෂයන් අපේක්ෂා නොකරන කිසිවක් බලහත්කාරයෙන් පහළ කර දෙන්නට ලෝකයේ කිසිම දේශපාලන බලවේගයක් බිහිවී නැති බවය.







