දිනසේන රතුගමගේ –
ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට බලහත්කාරයෙන් පැමිණ මසුන් මැරීමේ ප්‍රශ්නය ස්ථිර වශයෙන් විසඳා ගන්නා තුරු දැනට ඇති එකම විකල්පය වන්නේ ඔවුන්ව අත් අඩංගුවට ගැනීම පමණක් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ධීවර සමීති නියෝජිතයින්ට 21 දා ප්‍රකාශ කොට තිබේ.
අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ ඉන්දියාවේ ධීවරයින්ට මසුන් මැරීම සඳහා බලපත්‍ර ක්‍රමයක් සකස් කොට දෙන බවට පලවන තොරතුරු වල කිසිම සත්‍යතාවයක් නොමැති බවයි.
”ඉන්දියාවේ ධීවරයින්ට උතුරු මුහුදේ මසුන් මැරීම සඳහා විශේෂ බලපත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යන බවට විශාල ආරංචියක් පැතිර යනවා. නමුත් මේක එක් ධීවර සමාගමක් විසින් ඉදිරිපත් කොට ඇති යෝජනාවක් මිස අපි ගත් තීරණයක් නොවෙයි. ඒ ධීවර සමාගම විසින් ඉදිරිපත් කොට ඇති යෝජනාවේ සඳහන් වන්නේ ඉතා විශාල මුදලක් අයකොට ඉන්දීය ධීවරයින්ට බලපත්‍ර ලබා දීමෙන් ප්‍රශ්නය විසඳා ගැනීමට හැකි වනවා සේම රටට විශාල ආදායමකුත් ලැබෙන බවයි. නමුත් අපි මේ යෝජනාව ගැන තවම කිසිම සැලකිල්ලක් දක්වා නැහැ.“
“ මම මීට පෙරත් උතුරේ ධීවර සමීති වලට පොරොන්දු වූයේ මේ ප්‍රශ්නය මේ වසර අවසන් වන විට කෙසේ හෝ සාකච්ඡා කොට විසඳා ගැනීමට උත්සාහ කරණ බවයි. ඒ සඳහා විවිධ මට්ටමින් දැනටත් සාකච්ඡා පැවැත්වෙනවා. නමුත් ඉන්දීය ධීවරයින් නිරන්තරයෙන්ම උතුරු මුහුදට පැමිණ මසුන් මැරීමේ කටයුතු සිදු කරනු ලබනවා.
මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා ගන්නා තුරු කළ හැකි එකම දේ වන්නේ නාවික හමුදාව ලවා අනවසරයෙන් උතුරු මුහුදු සීමාවට පැමිණ මසුන් මරණ ධීවරයින්ව අත්අඩංගුවට ගැනීම පමණයි. රජයේ මැදිහත්වීම මත නාවික හමුදාව ඒ කටයුතු ඉතා මැනවින් කරගෙන යනවා.
ඉන්දීය ධීවරයින් අත් අඩංගුවට පත් වූ පසුව කටයුතු සිදුවන්නේ ධීවර පනතට අනුවයි. ඒ වගේම රටවල් දෙක අතර ඇති කරගෙන තිබෙන ගිවිසුම් මිත්‍රශීලීභාවය වැනි කරුණුද මෙහිදී බල පැවැත්වෙනවා.
කෙසේ වෙතත් මේ ප්‍රශ්නය විසඳීම සඳහා රජයක් වශයෙන් හා අමාත්‍යංශයක් වශයෙන් ගන්නා හැම තීරණයක්ම දේශීය ධීවරයින්ට හා ධීවර සංගම් නියෝජිතයින්ට දැණුම් දෙනු ලබනවා.”






