කිරිඳිවැල පොලිස් අත්අඩංගුවේ දී පුද්ගලයෙක් මිය ගියේය. එම පුද්ගලයා මිය ගිය ආකාරය සම්බන්ධව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග එම සිද්ධිය සිදුවූ අවස්ථාවේම හෙළි කළේය.
අපි ඒ සිදුවීම් පෙළ වාර්තා කළෙමු.
රන් මාල සොරකමක් සම්බන්ධව සිවිල් පුද්ගලයින් පිරිසක් විසින් අල්ලාගෙන පහර දිමෙන් පසු පොලිසිය වෙත භාර දුන් පුද්ගලයෙක් පසුගිය 26 වැනිදා මිය ගොස් තිබිණි. මිය ගියේ 27 හැවිරිදි තරුණයෙකි. ඔහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවෙක් බව කීවේය.
මේ තරුණයාගෙන් ප්‍රශ්න කිරීම් කළ පොලිසියේ අපරාධ අංශයේ සැරයෙන්වරයෙක් සහ කොස්තාපල් වරයෙක් කොල්ලකෑම් හා සම්බන්ධ තවත් පුද්ගලයෙක් ගැන තොරතුරු ලබා ගැනීමට යතුරු පැදියකින් ඔහුව රැගෙන ගොස් තිබිණි.
තරුණයා සිටියේ මාංචු පිටය. යතුරුපැදිය පුද්ගලික එකකි. පොලිස් නිලධාරීන් දෙදෙනා මාංචු දැමූ තරුණයා මැදිකරගෙන යතුරුපැදියේ හිඳගෙන යතුරු පැදිය පදවා තිබිණි.
පොලිසිය නීති විරෝධීව හැසිරී තිබිණි. එකක් පුද්ගලික වාහනයකින් අත්අඩංගුවේ පසුවන රැඳවියෙක් රැගෙන යෑමය. අත්අඩංගුවට ගත් පුද්ගලයාට හෙල්මට් තිබී නැත. යතුරු පැදියක තුන් දෙනෙක් ගමන් කිරීමට නීතියෙන් ඉඩක් නැත.
මාංචු පිටින් රැඳවියා රැගෙන යද්දී යතුරු පැදිය පාලනය කරගත නොහැකිව බෝක්කුවකින් පෙරළී තිදෙනාම දියට වැටී තිබිණී. මාංචු පිට සිටි රැඳවියා දියේ ගිලී මිය ගියේය. ඔහුට පහර දීමේ ලකුණු ඇති බව ද අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා කීවේය.
එහෙත් ඊයේ (27) රාත්‍රි 11.45ට පොලිස් මූලස්ථානය මරණය සම්බන්ධ දීර්ඝ විස්තරයක් සහිතව නිවේදනයක් නිකුත් කළේය. එම නිවේදනයේ අප දන්නා සුපුරුදු පිටපත තරමක් වෙනස් කර ප්‍රකාශ කර තිබිණි.
පොලිසිය කියන පරිදි සැකකරු මිය ගොස් ඇත්තේ මෙසේය.
“බණ්ඩාරනායක පුර ප්‍රදේශයේ දී සැකකරු විසින් යතුරුපැදිය පදවාගෙන ගිය පොලිස් නිලධාරියාගේ ගෙල සිරකර පැන යෑමට තැත් කර ඇති අතර එහිදී අදාල නිලධාරියාට යතුරුපැදිය පාලනය කරගත නොහැකිව ඇල මාර්ගයකට පෙරළී ඇත.“
“මේ සිදුවීමෙන් පසු රදාවාන රෝහලට ඇතුළත් කළ සැකකරු ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවට වෛද්‍යවරුන් විසින් දන්වා ඇත.“

තරුණයාට මාංචුදමා තිබුණ ආකාරය, ඔහුව පුද්ගලික යතුරුපැදියක රැගෙන ගිය ආකාරය, අනාරක්ෂිතව රැගෙන ගිය ආකාරය, නීති විරෝධිව එම යතුරුපැදිය ධාවනය කළ ආකාරය පිළිබඳ පොලිසිය වචනයක් කියන්නෙ නැත.
අප හිඟාකන රටකි. ලෝකය ඉදිරියේ ඩොලරයක් දෙකක් හිඟා කන්නටත් රටේ මානව හිිමිකම් පිළිබඳ මූලික සිද්ධාන්ත ටික ආරක්ෂා වී තිබිය යුතුය. මේ පහරන්නේ ඒ මතය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ මාල කඩන තරුණයාට තිබුණේ මිනිස් ජීවිතයකි. එහි වටිනාකම පොලිසියට අවශ්‍ය ලෙස අඩු වැඩි වෙන්නේ නැත. අනෙක මේ තරුණයාට දැනුම්වත් පරිසරයක සබඳතා තිබුණා නම් පොලිසිය මේ නැටුම් නටන්නේත් නැත.
පොලිසියට මෙම තරුණයා භාර දුන්නේ වගකීම් සහිතව රටේ නීතිය ක්‍රියාත්මක කිරීමටය. සිදුවී ඇත්තේ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් වැනි සිදුවීමකි. මේ වගකීම් රහිත පොලිස් මුග්ධකම වසා ගන්නට තුට්ටු දෙකේ පොලිස් බොරු කීම නැවැත්විය යුතුය. අප ඉන්නේ එහෙම කාලයක නොවේ.
පොලිස්පති තුමනි. මේ විලිලජ්ජා නැති නිවේදන නිකුත්කර ඔබත් නිරුවත් වීම නවත්වන්න. මේ සිද්ධිය වාර්තා කළ අප පස්සේ පන්නන්නේ නැතිව මේ සිදුවීම ගැන නිශ්චිත පරීක්ෂණයක් කරන්න. වැරදිකාර පොලිස් මෝඩයින්ට නිසි දඬුවම ලබා දෙන්න.
පොලිසිය නීතියට උඩින් නැති බවත් අපරාධ සඳහා ලයිෂන් දී නැති බවත් පොලිසියට කියා දෙන්න.
මේ කතාවත් කියවන්න.
පොලිස් අත්අඩංගුවේ දී කිරිඳිවැල තරුණයා මිය ගියේ පොලිස් මුග්ධකමක් නිසා… පොලිසියේ 02ක වැඩ තහනම්!







