දිනසේන රතුගමගේ –
දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයා සම්ග මේ මස 25 වෙනිදා සාකච්ඡා කරන විට එල්.ටී.ටී.ඊ. හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ හෝ ටෙලෝ හිටපු නායක ශ්‍රී සභාරත්නම්ගේ මතවල නොසිට සාකච්ඡා කිරීමට පක්ෂය තීරණයක් ගත් බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් පවසයි.
දෙමළ ජාතික සන්ධානය මඩකලපුවේදී කළ පක්ෂ සාකච්ඡාවකදි මෙම තීරණය ගත් බව ප්‍රකාශ කළ අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා තම පක්ෂය එවැනි තීන්දු කීපයක් ගෙන ජනාධිපතිවරයා සමග සාකච්ඡාවට යන විට මේ රටේ දෙමළ ජනයාට විශාල ප්‍රශ්නයක් ඇති බව ජනාධිපතිවරයා විසින් අවබෝධ කර ගනු ඇතැයි අපේක්ෂා කරණ බවද කියා සිටියේය.
” යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසුව මේ රටේ ආණ්ඩු කටයුතු කලේ දෙමළ ජනතාව සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලයි. ඔවුන්ගේ ප්‍රශ්න ගැන කවුරුවත් කතා කලේ නෑ. අපි දැන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට යාමට සූදානම් වෙනවා. ප්‍රභාකරන් හෝ සභාරත්නම් හිටියානම් ඔවුන් මේ වගේ සාකච්ඡාවකට දෙමළ ජාතික සන්ධානයට සහභාගී වීමට ඉඩ තබන්නේ නෑ. අපිත් ඔවුන්ගේ මතවාද පසෙකට දමා මේ සාකච්ඡාවට යනවා.“
“මේ රටේ ජනවාර්ගික අර්බූදයක් පැවතීම නිසාත් දෙමළ ජනතාවට විසඳාගත යුතු ප්‍රශ්න රැසක් තිබෙන නිසාත් අපි මේ සාකච්ඡාවට යනවා. ජනාධිපතිවරයාත් මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් තිබෙන බව මේ සාකච්ඡාවේදී හෝ පිළිගත යුතුයි.“
“ජනාධිපතිවරයා සමග දෙමළ ජාතික සන්ධානය සාකච්ඡාවකට යාම පිළිබදව සෙසු දෙමළ දේශපාලන පක්ෂ පමණක් නොවෙයි අපේ සන්ධානයේ ඇතැම් හවුල්කාර පක්ෂත් යම් යම් විරුද්ධ මතවාද ප්‍රකාශ කරනවා. ජනාධිපතිවරයාගේ සිංහල බෞද්ධ සංකල්පය මත උතුරේ සිදුවන බොහෝ ක්‍රියා නිසා මෙවැනි තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒක නිසා අපි ජනාධිපතිවරයාට මේ ගැනත් මතක් කරලා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.“
“ඉන්දියාව සහ ජාත්‍යන්තර ප්‍රජාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හරහා අපේ ප්‍රශ්නයට හඬක් නඟන මේ සන්දර්භය තුළ ජනාධිපතිවරයා අපගේ මෙම ඉල්ලීම් පිළිනොගන්නේ නම් ඒක විශාල අර්බූදයක් බවට පත්විය හැකියි.“
“ඉතින් මේ ආණ්ඩුවයි ජනාධිපතිතුමායි අපිව ආරක්ෂා කර ගන්න අවශ්‍ය වෙනවා. එහෙම නැතිව අපේ ප්‍රශ්නත් එක්ක ජාත්‍යන්තරය හා රටේ ජනතාව මුලා කරවීමට තව දුරටත් දෙමළ ප්‍රශ්නත් සමග දාදු සෙල්ලමක් නොකළ යුතුයි.“







