පසුගිය වසර තුළ මාර්ග අනතුරු හේතුවෙන් පාසල් දරුවන් 411 මහ මග මියගොස් ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා වූ විශේෂඥ කමිටුව පවසයි.
පසුගිය වසර තුළ පමණක් මාරක රිය අනතුරු 2395කින් පුද්ගලයින් 2515ක් මහ මග මියගොස් ඇති අයුරු එම විශේෂඥවරු පෙන්වා දෙති. ඒ අනුව පසුගිය වසර තුළ දල වශයෙන් දිනකට හත් දෙනෙක් මාර්ග අනතුරු හේතුවෙන් මහ මග මිය ගොස් තිබේ.
ගිය වසර තුළ වාර්තා වී ඇති මුළු ප්‍රධාන මාර්ග අනතුරු සංඛ්‍යාව 21953කි. එම අනතුරුවලින් බරපතල තුවාල ලැබූ අය 6231ක් සහ සුළු තුවාල ලැබූවන් 8209ක් වාර්තා වී ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ රිය අනතුරු වළක්වා ගැනීමේ විශේෂඥ කමිටුව අවධාරණය කරන්නේ පසුගිය වසර තුළ පමණක් මේ අනතුරු හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට හා සමස්ථ ආර්ථිකයට දරන්නට සිදුවූ පිරිවැය අති මහත් බවත් මෙවැනි අර්බුදකාරී ආර්ථික පරිසරයක දී කිසිවක් අමුතුවෙන් සිදු නොකර අප අත්දකින නිස්කාරණ අනතුරු වළක්වා ගැනීමෙන් පමණක් ආර්ථිකයට අති විශාල දායකත්වයක් ලබා දීමට හැකි බවත්ය. මහ මග දී තමන්ගේ ආරක්ෂාව සහ අනෙකාගේ ආරක්ෂාව ගැන සහතික වීමේ පුද්ගල වගකීම දැරීමෙන් මහ මග මිනිසුන් මිය යෑමේ අපරාධය වළක්වා ගත හැකි බව ඔවුහු පෙන්වා දෙති.
රටේ ප්‍රධානම රාජ්‍ය ප්‍රවාහන මාධ්‍යය වූ ලංකා ගමනා ගමන මණඩලයේ බස් රථවලින් සිදුවූ අනතුරුවලින් පමණක් පුද්ගලයින් 69 දෙනෙක් පසුගිය වසර තුළ මිය ගොස් ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
මේ බව අනාවරණය වන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා වූ විශේෂඥ කමිටුවේ සම්පත් දායකත්වය සහිතව ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ඊයේ (19) සංවිධානය කර තිබූ බස්නාහිර පළාතේ ලංගම ඩිපෝ ආවරණය වන පරිදි පුහුණු කරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් යටතේ ලංගම රියදුරන් සන්නද්ධ කිරීමේ වැඩසටහනක දී ය.

ප්‍රවාහන හා ජනමාධය ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ මගපෙන්වීම සහ මූලිකත්වය සහිතව ලංගම සභාපති ලලිත් ද අල්විස් විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
ලෝ ප්‍රකට ශ්‍රී ලාංකේය ධාවන ශූර ඩිලන්ත මාලගමුව මෙම වැඩසටහනේ ප්‍රධාන සම්පත් දායකයා වූ අතර ශ්‍රී ජයවර්ධනපුර රොටරි සමාජයේ සභාපති වෛද්‍ය රුවන් තුෂාර මැටිවලගේ විශේෂඥ උපදේශකයෙක් ලෙස මේ අවස්ථාවට එක් වී සිටියේය.
මෙහිදී අමාත්‍යවරයා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වළක්වා ගැනීමේ විශේෂඥ කමිටුව සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර ඔවුන් සමග එක්ව කටයුතු කිරීමට එකඟ වූයේය. අනතුරුව කමිටුව හා සහයෝගයෙන් කටයුතු කරන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශ නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.