පාකිස්තානයේ සියල්කොට්හි මැර පිරිසක් එරට අපනයන ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රි ලාංකික සාමාන්‍යාධිකාරීවරයා අද (03) දහවල් ඉතා අමානුෂික ලෙස පහර දී ඝාතනය කොට මහ මඟ දමා ගිනි තබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
එම කර්මාන්ත ශාලාවේ සේවය කරන ඉස්ලාම් අන්තවාදී අදහස් දරන මැර කණ්ඩායමක් විසින් සිදු කරන ලද මෙම සාහසික ක්‍රියාව පාලනය කිරීමට පොලිස් කණ්ඩායම්වලට පවා නොහැකි වූ බව එම වාර්තාවල සඳහන් වේ.
මෙසේ ඝාතනය වී ඇත්තේ සියල්කොට් ඇඟලුම් කර්මාන්ත ශාලාවක අපනයන කළමානාකරවරයා ලෙස කටයුතු කළ ප්‍රියන්ත කුමාර නැමැති ශ්‍රි ලාංකිකයෙකි. සියල්කොයට් පොලිසිය පවසන්නේ ඔහු එම නගරයේම පදිංචිව සිටි බවය.
සියල්කොට් දිස්ත්‍රික් පොලිස් නිලධාරි උමාර් සයීඩ් මලික් පැවසුවේ සියල්කොට් හි වසිරාබාද් පාරේදී මෙම සිදුවීම සිදුව ඇති අතර එහිදී පෞද්ගලික කර්මාන්තශාලා සේවකයින් ඔහුගේ සිරු මහමගට ගෙනවිත් පිළිස්සු බවය.
මේ බව දැක්වෙන වීඩියෝ දර්ශන ද මේ වනවිට සමාජ ජාලවලට එක්ව ඇති බවත් සිය ගණනක් පිරිමින් සහ තරුණ පිරිමි ළමයින් එම ස්ථානයට රැස්ව සිටින අතර ඔවුන්ගේ කණ්ඩායම් සටන් පාඨ කියමින් සිටින ආකාරයක් එහි දැක්වෙන බවත් පකිස්තාන මාධ්‍ය සඳහන් කරයි. .
ඝාතනය පිටුපස ඇති විය හැකි අරමුණ පිළිබඳව පොලිසිය මෙතෙක් ප්‍රකාශ කර නැතත් මේ පසුපස ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් සිටින බව පකිස්තාන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහු සේවය කළ ඇඟලුම් කර්මාන්ත ශාලාව එරට පුමුඛ පෙළේ නිමි ඇඳුම් අපනය සමාගමක් වන රාජ්කෝ ඉන්ඩස්ට්‍රිස් නම් වන අතර මෙවර 20 20 ලෝක කුසලානයට සහභාගී වූ පකිස්තාන කණ්ඩායමට ඇඳුම් ආයිත්තම් සකස් කළේද එම ආයතනයේ බව තවත් මාධ්‍ය වාර්තාවක සඳහන් විය.
සිද්ධිය මාධ්‍ය වාර්තා කළ අයුරු…