ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ (DRC) සිදුකළ මානුෂීය මෙහෙයුමක නිරතව සිට යළි පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඒ අනුව, මෑතකදී ඇති වූ මෙම එබෝලා වෛරස් ව්‍යාප්තිය හමුවේ ප්‍රංශයෙන් වාර්තා වූ පළමු එබෝලා රෝගියා ලෙස මෙම වෛද්‍යවරයා හඳුනාගෙන ඇති බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
දැනට මෙම රෝගියා පූර්ණ ලෙස හුදෙකලා කර ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර, ඔහු සමඟ සබඳතා පැවැත්වූ අනෙකුත් පුද්ගලයින් සොයා බලධාරීන් විශේෂ පරීක්ෂණ (Contact Tracing) ආරම්භ කර ඇත. කෙසේ වෙතත්, මේ හේතුවෙන් සමස්ත යුරෝපීය ජනගහනයට එල්ල විය හැකි අවදානම ඉතා අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පෙන්වා දෙන්නේ, මෙවර කොංගෝ ජනරජයෙන් වාර්තා වන එබෝලා ව්‍යාප්තියේ පළමු මාසය තුළ වාර්තා වූ ස්ථිර ආසාදිතයන්ගේ සංඛ්‍යාව, මීට පෙර සිදු වූ ඕනෑම එබෝලා ව්‍යාප්ත වීමේ අවස්ථාවකට වඩා ඉහළ අගයක් ගන්නා බවයි. අඟහරුවාදා දිනය වන විට රජය නිකුත් කළ නිල දත්තවලට අනුව, කොංගෝවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,094 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ අතරින් මරණ 277ක් වාර්තා වී තිබේ.
මෙම වෛරස් ව්‍යාප්තිය ඉතා දුර්ලභ ගණයේ ‘බුන්ඩිබුග්යෝ’ (Bundibugyo) නැමැති වෛරස් ප්‍රභේදයට සම්බන්ධ එකක් බව හඳුනාගෙන ඇත. මෙම වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගැනීම ප්‍රමාද වූ අතර, මැයි 15 වන දින මෙය වසංගත තත්ත්වයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට මාස කිහිපයකට පෙර සිටම වෛරසය සමාජය තුළ ව්‍යාප්ත වෙමින් පැවති බව විශේෂඥයෝ පවසති.
ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අබ්දිරහ්මාන් මහමුද් ප්‍රකාශ කළේ, මෙම ව්‍යාප්තිය මෙතරම් විශාල වීමට ප්‍රධානතම හේතුවක් වූයේ මුල් අවධියේදීම ‘බුනියා’ (Bunia) වැනි නාගරික මධ්‍යස්ථානවලින් සහ ‘මොංබ්වාලු’ (Mongbwalu) වැනි පතල් ආශ්‍රිත නගරවලින් ආසාදිතයන් වාර්තා වීම බවයි. මීට පෙර සිදු වූ වෛරස් ව්‍යාප්තීන් බොහොමයක් මුලින්ම හඳුනාගනු ලැබුවේ ග්‍රාමීය ප්‍රදේශවලින් වන අතර, ඒවා ඉතා ඉක්මනින් පාලනය කිරීමට හැකි විය.
පසුගිය සතියේ බුනියා ප්‍රදේශයේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතූ අබ්දිරහ්මාන් මහමුද්, “අපට ඇති වැදගත්ම දේ තමයි මේ සඳහා වන ක්‍රියාමාර්ග කඩිනමින් පුළුල් කිරීම. මොකද මේ වෛරස් ව්‍යාප්තිය අපේ පාලන වේගයට වඩා වේගයෙන් ඉදිරියට ගමන් කරමින් තිබෙනවා” යනුවෙන් පවසා සිටියේය.
මීට පෙර වාර්තා වූ විශාලතම එබෝලා වෛරස් ව්‍යාප්තීන් දෙකෙන් එකක් බටහිර අප්‍රිකාවේ ගිනියා, සියෙරා ලියොන් සහ ලයිබීරියාව යන රටවලින් වාර්තා වූ අතර, 2014 සහ 2016 කාලය තුළ ඉන් පුද්ගලයන් 11,325 දෙනෙකු මියගොස් තිබුණි. අනෙක් විශාලතම ව්‍යාප්තිය 2018 වසරේදී කොංගෝ රාජ්‍යයෙන්ම වාර්තා වූ අතර ඉන් පුද්ගල මරණ 2,299ක් සිදු විය.







