දිනසේන රතුගමගේ –
කච්චතීව් දූපතේ බුදු පිළිමයක් තැබීමට නාවික හමුදාව මේ දිනවල කටයුතු කිරීම සම්බන්ධයෙන් උතුරේ කිතුණු හා හින්දු ආගමික නායකයින් සමග දෙමළ දේශපාලනඥයින් ඊයේ ( 25 ) විරෝධය පලකොට තිබේ.

නාවික හමුදා භටයින් අටක් හෝ දහයක් පමණක් රාජකාරී කරන කච්චතීව් දූපතේ බුදු පිළිමයක් තැබීමට සියලු කටයුතු යොදා අවසන් බවත් එම බුදු පිළිමය නාවික හමුදා නිලධාරීන් විසින් ආවරණය කොට ඉදිකිරීම් කටයුතු කරගෙන යන බවත් උතුරේ කිතුණු හා හින්දු බැතිමතුන් හා දෙමළ දේශපාලනඥයින් ප්‍රකාශ කරයි.
නාවික හමුදාව එසේ නොකරණ බව ප්‍රකාශ කළත් තවත් සති දෙකක් යාමට පෙර කච්චතීව් දූපතේ දැනට ඉදිකරගෙන යන බුදු පිළිමය වන්දනාමාන කිරීම සදහා නිරාවරණය කරණු ඇතැයි උතුරේ දෙමළ දේශපාලනඥයින් ප්‍රකාශ කොට තිබේ.
ඔවුන් ප්‍රකාශ කොට සිටින්නේ කච්චතීව් දූපත ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් වශයෙන් ලැබෙන විට එහි වූයේ ශාන්ත අන්තෝනී දෙව් මැදුර පමණක් බවයි.

1974 වසරේ සිට ඉන්දීය බැතිමතුන් හා ශ්‍රී ලාංකික බැතිමතුන් එක්ව එම දේවස්ථානයේ ශාන්ත අන්තෝනී දෙව් මැදුරේ වාර්ෂික මංගල්ලය පවත්වනු ලැබුවත් මේ දක්වා වෙනත් කිසිම ආගමකට අයත් ප්‍රතිමා හෝ සංකේත තබා නොමැති බවද ඔවුන් කියා සිටියි.
තත්ත්වය එසේ තිබියදි ජනතාව වාසය නොකරන කච්චතීව් දූපතේ බුදු පිළිමයක් ස්ථාපිත කිරීමට මේ දිනවල දරණ උත්සාහය වහාම නතර කළ යුතුව ඇතැයි යාපනයේ කිතුණු හා හින්දු ආගමික නායකයින් පෙන්වා දී තිබේ.
ආගමික නායකයින් මේ ගැන දෙමළ දේශපාලනඥයින්ට ප්‍රකාශ කිරීමෙන් පසුව කච්චතීව් දූපතේ බුදු පිළිමයක් ස්ථාපිත කිරීම නිසා ඉතිහාසය වෙනස් වීමක් හා සිංහල දෙමළ වැසියන් අතර යළි මත ගැටුමක් ඇති වීමට එය බලපාන බැවින් වහාම එම තීරණය අත්හිටුවීමට පියවර ගන්නා ලෙස දෙමළ දේශපාලන පක්ෂ රජයෙන් ඉල්ලීමක් කරණ බව ඔවුන් යාපනයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබේ.