ශ්‍රියානි විජේසිංහ –
මෙම යල කන්නයේ සියලුම ගොවීන්ට වගාව සඳහා සහනාධාර මුදලක් ලබා දීමට රජයේ අවධානය යොමුව ඇත.
මෙම සහනාධාර මුදල වවුචරයක් වශයෙන් හෝ ගොවි ගිණුම්වලට මුදලක් වශයෙන් බැර කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එකඟතාව පළවී ඇතැයිද සඳහන් වේ.
ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අවම කිරීමේ අරමුණින් මෙම මුල්‍ය සහනාධාරය පිරිනැමීමට රජය පියවර ගෙන තිබේ.
.මෙවර යල කන්නයේ දී මඩ පොහොර නොමිලයේ ලබා දීමට පියවර ගත්තාක් මෙන් දැනට රුපියල් 10,000කට අලෙවි කරන යුරියා පොහොර මිටියක මිල අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි තව දුරටත් අඩු කිරීමට ද රජය තීරණය කර ඇත.
එමෙන්ම මහ කන්නයේ දී රුපියල් 19,500කට අලෙවි කළ බණ්ඩි පොහොර මිටියක් තවත් සැළකිය යුතු මුදලකින් මිල අඩු කිරීමට ද කටයුතු යොදන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර රජයේ වී මිල දී ගැනීමේ වැඩ පිළිවෙළ සම්බන්ධව අදහස් පළ කළ අමාත්‍යවරයා ඇතැම් ගොවි සංවිධාන නියෝජිතයින් වීසින් ඇතැම් මාධ්‍යන්ට කළ ප්‍රකාශ ද වී කිලෝවක මිල රුපියල් 100ක් ලෙස රජය උපරිම මිලක් තීරණය කිරීමට බලපෑ බව සඳහන් කළේය.