නීති විරෝධීව මෙරට භාවිතාවන ලියාපදිංචි නොකළ තහනම් වාහන සියයකට ආසන්න ප්‍රමාණයක් හිටපු ආණ්ඩුවල දේශපාලකයින් සහ දේශපාලන බලයක් සහිත ප්‍රභූවරුන් විසින් පරිහරණය කරමින් සිටින බවට සැක කරන්නේ යැයි පොලිසිය පවසයි.
මෙම වාහන භාරදීම හෝ නීතිය ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබා නොදී එම වාහන මහ මග දමා යෑමත්, වාහන සැඟවීමත් පසුගිය සතිය පුරා දක්නට ලැබුනු බවත් ඒ හේතුවෙන් ඇතැම් දේශපාලකයින් සහ බලය සහිත පුද්ගලයින් තමන්ගේ බලය අවභාවිතා කරමින් පරිහරණය කරන ලද ලියාපදිංචි නොකළ වාහන සොයා ගැනීම සඳහා පොලිසියට ලැබෙන තොරතුරු පදනම් කරගනිමින් පොලිසිය රේගුව සහ මෝටර් රථ ලියාපදංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඒකාබද්ධ පුලුලු මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය හෙළි කරයි.
මේ සම්බන්ධව ලැබෙන තොරතුරු ඉවත නොදමන බව පවසන පොලිස් මූලස්ථානය රජයේ වාහන හෝ දේපල අවභාවිතා කිරීම්, සැඟවීම් සම්බන්ධව තොරතුරු ඇතිනම් වහාම පොලිස් මුලස්ථානය වෙත දැනුම් දෙන ලෙස ද ඉල්ලීමක් කරයි. මේ වනවිට විවිධ දේශපාලකයින් සහ බලය සහිත පුද්ගලයින් විසින් ව්‍යාජ අංක තහඩු යොදා ගනිමින් භාවිතා කරන ලද සුඛෝපභෝගී වාහන ගණනාවක තොරතුරු පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලැබි ඇතැයි පවසන විමර්ශන අංශ ඒ සම්බන්ධව පැහැදිලි විමර්ශනයක් සිදුකරන බවත් එම වාහන බදු නොගෙවා කොටස් වශයෙන් මෙරටට ගෙන්වා මෙහිදී එකලසක් කරන ලද වාහන ද, එසේත් නැතිනම් විවිධ අමතර කොටස් භාවිතා කර නීති විරෝධීව මෙරට එකලස් කරන ලද වාහන ද යන්න පිළිබඳව රජෙයේ රස පරීක්ෂක වාර්තා සහ රේගු වාර්තා යොදා ගනිමින් විමර්ශන කටයුතු දියත් කිරීමට සැලසුම් කර ඇති බවත් පවසයි.
වාහන එකලස් කිරීමේ කර්මාන්තයට ඇති දේශපාලන සම්බන්ධතාවයන් ගැන ද මේ සමගම සොයා බැලීමට විමර්ශන අංශවල අවධානය යොමු වී ඇත. එබැවින් රජයේ වාහන හා දේපළ අවභාවිතා කරන, සැඟවීමට උත්සාහ කරන, අංකතහඩු රහිතව හෝ සහිතව සැක කටයුතු ලෙස පරිහරණය කරන කුමන තරාතිරමක හෝ පුද්ගලයෙක් සම්බන්ධව වහමා 1997 කෙටි දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. ( මව්බිම)







