ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ගමන් ගත් ජීප් රථය ඊයේ (15) රාත්‍රියේ දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරට ලක් වී තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 20 කළුතර උතුර හුණුපිටිය ප්‍රදේශයේ නතර කර තිබිය දී ලී කුඩු පැටවූ ලොරියක් ඊයේ (15) රාත්‍රියේ වෛද්‍යවරයා ගේ ජීප් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
කෙසේ වෙතත් වෛද්‍යවරයා ඇතුළු පවුලේ කිසිම අයට සිදු වීමට ගිය විශාල අනතුරින් හානියක් වී නැති බව දක්ෂිණ අධිවේගී මාර්ග රථවාහන පොලීසිය වාර්තා කරයි.
ලොරිය ජීප් රථයේ ගැටීමත් සමඟ ලොරිය මාර්ගය හරහා පෙරළී ඇති අතර, ඒ හේතුවෙන් අධිවේගී මාර්ගය පැය 08ක කාලයක් වාහන ධාවනය කිරීමට නොහැකි ව වසා තිබුණු බව ද රථ වාහන පොලීසිය සඳහන් කරයි.
අනතුර වන අවස්ථාවේ දී වෛද්‍යවරයා ජිප් රථයෙන් පිටතට බැස සිට ඇති අතර, ජීප් රථය තුළ ඔහු ගේ බිරිඳ හා සහෝදරිය සිට ඇති බව පොලීසිය වාර්තා කර ඇත.
වෛද්‍යවරයා ගාල්ල සිට කොළඹ දෙසට පැමිණීමේ දී ජීප් රථයේ පිටුපස වම් පස රෝදය ආපදාවට ලක් වීම හේතුවෙන් ඔහු ජීප් රථය නවතා එයින් බිමට බැස සිටිය දී දොඩම්ගොඩ දෙස සිට පැමිණි ලී කුඩු පටවා ගත් ලොරිය අධික වේගයෙන් පැමිණ ජීප් රිප් රථයේ පිටුපස බඳ කොටසේ ගැටී තිබේ.
ඒ සමඟම ජීප් රථය අඩි කීපයක් ඉදිරියට විසි වී ඇති අතර, වෛද්‍යවරයාට හෝ ජීප් රථයේ සිටි ඔහු ගේ බිරිඳට හෝ සහෝදරියට කිසිදු තුවාලයක් සිදු වී නැතැයි පොලීසිය පවසයි.
ලොරි රථය මාර්ගය හරහා පෙරළීමෙන් ලොරියේ රියදුරු ගේ හිසට තුවාල සිදු වී ඇති අතර, ඔහු බණ්ඩාරගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව හිසට මැහුම් හයක් යොදා ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
ලොරි රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුරට වන්නට ඇතැයි පොලීසිය සැක පහළ කරයි. – දෙරණ







