ජනාධිපති මන්දිරය, ලේකම් කාර්යාලය හා අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලිය ගහ මන්දිරය කොළඹ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත ගෙන යාමටත්, තිබෙන ගොඩනැඟිලි, සමහර විටෙක සංචාරක ආකර්ෂණයක් ලෙස පමණක් විවෘතව තැබීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දුන් බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර පවසයි.
‘සන්ඩේ ටයිම්ස්’ වෙත අදහස් දක්වමින් ඔහු පවසා තිබුණේ මේ වන විට පරිපාලන සංකීර්ණය එකම ස්ථානයක තැබීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයෙන් විකල්ප ඉඩමක් සොයමින් සිටින බවයි.
ස්ථානය හඳුනා ගැනීමෙන් පසු ජනාධිපතිවරයාට වාර්තා කොට ගොඩනැඟිලි අදියරෙන් අදියර එම ස්ථානයට මාරු කිරීම සඳහා සැලසුම් සකස් කිරීමට බලාපොරොත්තු වෙන බව ද ඔහු සඳහන් කරයි.
ජනාධිපති මන්දිරය, ලේකම් කාර්යාලය හා අරලියගහ මන්දිරයත්, ෆ්ලවර් රෝඩ්’ හි පිහිටා තිබෙන අග්‍රාමාත්‍ය කාර්යාලයත් ‘කොළඹ උරුම නගර සැලැස්ම’ යටතේ සංචාරක ආකර්ෂණ ස්ථානයක් ලෙස ආරක්ෂා කිරීමටත් බොහෝ දුරට කටයුතු යෙදීමට ඉඩ තිබෙන බව ද බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල්වරයා පවසා තිබිණි.
මෙම නගර සැලැස්ම යටතේ කොළඹ නගරයේ තවත් ගොඩනැඟිලි පෙළක් ආයෝජකයන්ට බදු දීමට ද නියමිතය. අයෝජකයන්ට බුටික් හෝටල් නිර්මාණය කිරීම සඳහා මෙම ගොඩනැඟිලි ලබා දීමට නියමති අතර ගොඩනැඟිලිවලට මුල් අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් එම කටයුතු කිරීමට කොන්දේසි යොදා තිබේ.
ඒ අනුව මහා තැපැල් කාර්යාලය, විදේශ අමාත්‍යාංශ ගොඩනැගිල්ල, පොලිස් මූලස්ථානය, ගුවන් හමුදා මූලස්ථානය, නාවික හමුදා මූලස්ථානය, විසුම්පාය, ශ්‍රාවස්ති (හිටපු මන්ත්‍රී නේවාසිකාගාරය), ගෆූර් ගොඩනැගිල්ල, ජාවත්ත පාරේ වාරිමාර්ග දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල, වැලිකඩ බන්ධනාගාර සහ පැරණි ආරක්ෂක ගාලු මුවදොර පිහිටි අමාත්‍යාංශ ගොඩනැගිල්ල බදු දීමට හඳුනාගෙන ඇත.
අධ්යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ බදු සහන කොන්දේසි සහිතව වසර 30කට වැඩි කාලයක් එම ගොඩනැගිලි බදු දීමට බලාපොරොත්තු වන බවයි.
හෙරිටේජ් සිටි සැලැස්ම යටතේ ගෆූර් ගොඩනැගිල්ල සහ පෝට් සිටි අතර ජනතාවට එම මාර්ගයෙන් ප්‍රයෝජන ගත හැකි ආරක්ෂිත කොරිඩෝවක් ඇති කිරීමට ද බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.
ඉඩම් අත්පත් කර ගැනීමේ ප්‍රමාදයන් සහ ගැටලු මඟහරවා ගැනීම සඳහා සංවර්ධන කටයුතු කිහිපයක් සිදු කර ආයෝජකයන්ට භාර දෙන ලෙස ජනාධිපතිවරයා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී ඇති බවද ඔහු පැවසීය.
නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග සන්ඩේ ටයිම්ස් වෙත පැවසුවේ අනාගත ආයෝජකයන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති අතර ඔවුන් අතර ජෝර්ජියාවේ ආයෝජකයන් සිටින බවයි. පැරැණි ගොඩනැඟිලිවල අනන්‍යතාව ආරක්ෂා කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පැවසීය.







