ඉඳුනිල් කහටපිටිය –
ආරක්ෂාව සහ කාර්ය බහුලත්වය පිළිබඳව ඇස්තමේන්තුකර අවශ්‍ය අවස්ථාවලදී ජනාධිපතිවරයා හෙලිකොප්ටරයකින් ගමන් ගත්ත ද එහි වරදක් තමන් නොදකින බවත් කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් හා ඉඩම් අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත පැවසුවේය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ගන්නෝරුව සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සහ නව මාධ්‍ය ඒකකය විවෘත කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වෙමින් මෙසේ කී ඇමතිවරයා පෙන්වා දුන්නේ හදිසි අවස්ථාවක් මතුවී බැරිවෙලා හෝ ජනාධිපතිවරයා හෙළිකොප්ටරයක ගමන් කළහොත් මේ රටේ මාධ්‍ය හා යූ ටියුබ් කරුවන් නටන නැටුම බලාගන්නට හැකි වෙනු ඇති බව ද කීවේය.
එහි දී ඇමතිවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.
අධිවේගී මාර්ගයේ ජනාධිපතිතුමා ගමන් ගන්නා වාහනයට පිටුපසින් තව වාහන කීපයක්ම ගමන් කරන දර්ශනයක් පසුගියදා මම දැක්කා. ඒක බලලා සමහරු පරණ ක්රමයම තමයි මිනිස්සු විතරයි වෙනස් වුණේ කියලා කියනවා. ජනාධිපතිතුමා කොහේ හරි යනවා නම් අනිවාර්යයෙන්ම එතුමා එක්ක යායුතු ආරක්ෂක නිලධාරීන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඉන්නවා.
මේ යන අය ගැනත් විවේචන එල්ල කරනවා නම් ඒවා මෝඩ මත කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. පිටින් බලනකොට පෙනෙන එක නෙවෙයි ඇත්ත. ඒවා කාටවත් ඕන ඕන විදිහට වෙනස් කළ නොහැකියි. ජනාධිපතිතුමාට ආරක්ෂාව අවශ්‍යය යි. ජනාධිපතිතුමා මුල් කාලෙ ගමන් යනකොට ආරක්ෂාව මදි කියලා ඔය අයම විවේචනය කළා. ආරක්ෂාව හොඳටම මදි දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් අත්‍යවශ්‍යයි කියලා ඒ අය කිව්වා. මගේ මතයත් ඒකම තමයි. ජනාධිපතිතුමාට අනිවාර්යයෙන්ම විශේෂ ආරක්ෂාවක් අවශ්‍යය යි.
මගේ මතය නම් ජනාධිපතිතුමාට අවශ්‍ය ගමන් බිමන් යන්න හෙලිකොප්ටරයක් දෙන්න ඕනේ කියන එකයි. ඒකට අනුර සහෝදරයා කැමති නැහැ. මොකක් හරි අවශ්‍යතාවක් පැනනැගිලා ජනාධිපතිතුමා හෙළිකොප්ටරයක ගමනක් ගියොත් එදාට බලාගන්න පුළුවන් මේ රටේ මාධ්‍යය යි, යූ ටියුබ් චැනලුයි හැසිරෙන විදිය. ඒක බලන්න ඉතින් තාමත් එතුමා එහෙම ගමනක් ගියේ නැහැ. එක දවසේ වැඩ 10 කට 15 කට යන්න වුණොත් හෙලිකොප්ටරයක් පාවිච්චි කරන්න වෙනවා. විවේචනය කරනවාට වඩා ඒ පිළිබඳව විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් බැලිය යුතුයි.
ඕන දේයි එපා දේයි විවේචනය කර කර ඉන්නවට වඩා ඒ දෙද විද්‍යාත්මකව වගේම තර්කානුකූල පදනමකින් බැලිය යුතුයි.
අපි හැමෝටම පොඩි පොඩි වෙනස් කම් වලට යන්න වෙනවා. පසුගියදා මම එක මිටට ගොවි බිමට වැඩසටහ යටතේ වාරි පද්ධති නිරීක්ෂණය කරන්න ගියා. මම ගියේ සුපුරුදු පරිදි මගේ කැබ් එකේ. රියදුරු සහෝදරයත් එක්ක. බලනකොට මගේ පස්සේ වාහන 15 ක් විතර පෝලිමට එනවා. දිස්ත්‍රික් ලේකම් එකක, ප්‍රාදේශීය ලේකම් තවත් එකක, නිලධාරින් එක එක වාහනවල, පොලිසිය තවත් එකක . මේවා දකින මිනිස්සු කියනවා පරණ ක්රමයම තමයි කියලා.
මේ නිලධාරීන් එක එක තැන්වල ඉඳලා තමයි එන්නේ. හැමෝටම එකම වාහනේ එන්න විදිහක් නැහැ. නමුත් අපි මේවා සාකච්ඡා කරලා වියදම් අඩු ක්‍රමයක් බලන්න ඕනේ. මම මගේ පුද්ගලික ලේකම්ට කිව්වා මේ අයට මගේ පස්සෙන්ම එන්න එපා. මම අදාළ ස්ථානයට ඇවිත් විනාඩි 10 ට විතර පස්සේ එතනට එන්න කියලා. මම එහෙම කිව්වට ඒ අය මගේ පස්සෙන් පෝලිමේ එනවා. ඉතින් ජනතාව විවේචනය කරනවා.
මේවා අපිට නවත්වන්න බැහැ. විවේචනය කළාට ප්‍රශ්නයකුත් නැහැ. නමුත් අපි ආවේ වෙනසක් කරන්නයි. ඒ දේශපාලන සංස්කෘතිය දැන් අපි වෙනස් කරමින් ඉන්නවා. රාජ්‍ය නිලධාරීන් පවා ඒ ආකාරයට හැඩ ගැසිය යුතුයි.







