ලලිත් චාමින්ද –
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතක පවුල් 760කට අයත් පුද්ගලයින් 1955 දෙනෙකු විපතට පත්ව ඇති බැව් ගාල්ල වැඩ බලන දිස්ත්‍රික් ලේකම් චාමි රාජකරුණා සඳහන් කළාය.
ධාරානිපාත වර්ෂාවත් සමඟ ගිං ගඟ ඉහළ නිම්නයට අයත් තවලම ප්‍රදේශයේ මහා ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙන බවද ඇය කීවාය.
තවලම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු ගංවතුරට ගසාගෙන ගොස් අතුරුදහන් වී ඇති බවත් ඔවුන් සෙවීම සඳහා සහන කණ්ඩායම් යොදවා ඇති බවත් වැඩ බලන දිස්ත්‍රික් ලේකම්වරිය පැවසුවාය.
ආපදා තත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස හතළිහකට අර්ධ වශයෙන් හානි වී ඇත. නෙළුව රෝහලට ප්‍රවේශ වන මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී තිබේ. ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව මුදාගැනීම සඳහා සහන කණ්ඩායම් සහ බෝට්ටු යොදවා ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.







