කීර්ති ප්‍රනාන්දු –
ගෑස්, සීනි සහ ඉන්ධන මිල වැඩි වුවද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල වැඩි නොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ. ජයවර්ධන පවසයි.
මේ වන විට ද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල අලෙවිය 75% කට වඩා අඩුවී ඇතැයි පෙන්වා දෙන සභාපතිවරයා බේකරි කර්මාන්තය නගාසිටුවීම සඳහා රජයෙන් සහන ලබා නොදෙන්නේ නම් කර්මාන්තය නැත්තටම නැති වීමේ අවදානමක් තිබෙන බවද කියයි.
සීනි, ගෑස්, විදුලිය සහ ඉන්ධන මිල වැඩිවීම බේකරි කර්මාන්තයට විශාල වශයෙන් බලපාන බවත් එහෙත් එම බර පාරිභෝගිකයන්හට ලබා නොදී තවදුරටත් බේකරි හිමියන්ම එම බර දරා ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය
මෙම වැඩි වීම නිසා මේ වන විටත් බේකරි නිෂ්පාදනවලින් අධික ලෙස පාඩු ලබන බවත් එම ඒ නිසා ඇතැම් බේකරි හිමියන් එම පාඩුව දරාගැනීමට නොහැකිව අඩු බර පාන් ඇතුළු නිෂ්පාදනයක් සිදු කිරීමට පෙළඹී සිටින බවත් සභාපතිවරයා කීවේය.
විදුලිය, ගෑස්, ඉන්ධන සහ සීනි මිල ඉහළ යාම නිසා බේකරි කර්මාන්තයට එල්ල වී ඇති දැඩි බලපෑමට අමතරව රජයට විශාල වශයෙන් බදු ගෙවීමට ද සිදුවී ඇති බව පෙන්වා දුන් සභාපතිවරයා පැවැසූ පාන් සඳහා සියයට දෙකහමාරක බද්දක්ද, සෙසු බේකරි නිෂ්පාදන සඳහා සියයට 21ක බදු මුදලක් ද ගෙවන බවද පෙන්වා දුන්නේය.