කීර්ති ප්‍රනාන්දු –
පොසොන් උත්සවය නිමිත්තෙන් ගම්පහ දිස්ත්‍රික්කය තුළ පවත්වන දන්සැල් පරීක්ෂා කිරීම හෙට (20) දින සිට (23) දින දක්වා දිවා රාත්‍රී දෙකෙහිම සිදු කරන බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 15 ක නිලධාරීන් 175 දෙනකුට වැඩි පිරිසක් සහභාගි වන බවද එම අංශය පවසයි .
බෝවන රෝග වැඩි වශයෙන් පැතිරීම සිදුවන්නේ ජලයෙන් බැවින් විශේෂයෙන් ඉකුත් දිනවල ජලගැලීමට ලක් වූ ප්‍රදේශවල පවත්වන දන්සැල් සඳහා දැඩි අවධානයක් යොමු කරන බවත් එම ප්‍රදේශවල දන්සැල් පවත්වන සංවිධායකවරුන්හට විශේෂ දැනුවත් කිරීම් සිදුකර ඇති බවත් පවසන සෞඛ්‍ය නිලධාරීන් අනෙකුත් ප්‍රදේශවලද දන්සල් සංවිධායකවරුන්ව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් ලියාපදිංචි කර දැනුවත් කිරීම් සිදුකර ඇතැයි ද පැවසීය .
විශේෂයෙන්ම ආහාර සැකසීමේදී, පානීය ජලය ලබා ගැනීමේදී, සිසිල් බීම සැකසීමේදී ,ඉතා පිරිසිදු ජලය යොදා ගන්නා ලෙසත් බිම තබා නොගෙන ආහාරපාන සැකසීමටත් දන්සල් සංවිධායකවරුන් වගකීමෙන් කටයුතු කළ යුතු බවද සෞඛ්‍ය නිලධාරීන් අවධාරණය කරයි .
එසේම හැකිතාක් දුරට සිසිල් බීම වෙනුවට උණු ජලය මගින් ලබාදිය හැකි පාන වර්ග සහිත දන්සල් ලබාදීමට පියවර ගන්නේ නම් ඉතා සෞඛ්‍ය ආරක්ෂිත බවද සෞඛ්‍ය නිලධාරීන් පෙන්වා දී සිටි .
ඊයේ( 19 ) දහවල් වන විට ගම්පහ දිස්ත්‍රික්කය පුරා විවිධ දන්සැල් දහසකට අධික ප්‍රමාණයක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල ලියාපදිංචි වී ඇති බවත් ඔවුන්හට සෞඛ්‍ය ආරක්ෂිත ලෙස දන්සල් පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් සියල්ල ලබා දී ඇති බවත් සෞඛ්‍ය නිලධාරීන් පවසයි .
විශේෂයෙන්ම දන්සැල් සඳහා යොදාගන්නා ජලය, ආහාර ද්‍රව්‍ය, ආහාර පාන සඳහා යොදාගන්නා කෘතිම බීම වර්ග හා වර්ණක පිළිබඳව දැඩිව විමසිලිමත් වන බව පවසන සෞඛ්‍ය නිලධාරීන් ආහාර පිසීම හා පිළිගැන්වීම සඳහා බෝ වන රෝග සහිත පුද්ගලයන් සහභාගී කර නොගන්නා ලෙසත් ආහාරපාන සැකසීමේදී මේස මත තබාගෙන සැකසීමට පියවර ගත යුතු බවත් දැඩිව අවධාරණය කර සිටි .
කිසියම් අයුරකින් සෞඛ්‍ය නිලධාරීන් විසින් ලබා දී ඇති උපදෙස් නොසලකා හරිමින් ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාවට තර්ජනයක් වන ලෙස පවත්වාගෙන යන ඕනෑම දන්සලක සංවිධායකවරුන්හට නීතිමය පියවර ගනිමින් එම දන්සලෙහි අපිරිසිදු ආහාරපාන විනාශ කර දැමීමට හා දන්සල වසා දැමීමට පියවර ගන්නා බවද සෞඛ්‍ය නිලධාරීන් වැඩිදුරටත් කියා සිටී .
එසේම දන්සැල් මගින් ආහාර පාන ලබා ගන්නා ජනතාවද හැකිතාක් දුරට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසත් තමන් ආහාර ලබා ගන්නා අවස්ථාවේදී එම ආහාර පානවල පිරිසිදුභාවය පිළිබඳව අවධාණය යොමු කරන ලෙසත් සැලකිලිමත් වන ලෙසත් සෞඛ්‍ය නිලධාරීන් විශේෂයෙන් දැනුම් දී සිටි .







