ගජමුතු දෙකක් ලක්ෂ 30කට අලෙවි කිරීමට ගිය ගලගෙදර ප්‍රදේශයේ චීවරධාරියෙක් බඩුත් සමගම අත් අඩංගුවට ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මධ්‍යම කලාපයේ විශේෂ වැටලීම් ඒකකය සමත් වූයේය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මධ්‍යම කලාපයේ විශේෂ වැටලීම් ඒකකයට ගජමුතු ජාවාරමක් ගැන මේ තොරතුර ලැබී තිබුණේ මීට සති කීපයකට පෙරය. ලැබුණු තොරතුරක් මත එම නිලධාරීන් විසින් සති දෙකක තුනක් කාලයක් තිස්සේ විශේෂ සොයා බැලීමක නිරත් වී තිබිණි.
අනතුරුව ජාවාරම්කරු කොටු කරගැනීමට උපාය දූතයෙක් යොදා ගන්නට වනජීවී නිලධාරීහු කටයුතු කළහ. ඒ අනුව ගජමුතු දෙකක් අලෙවි කිරීම සඳහා ලක්ෂ තිහක ලංසුවක් තැබූ පුද්ගලයා සමග දීර්ඝ සාකච්ඡාවක් දුරකථනයෙන් සහ වට්ස්ඇප් යෙදවුම හරහා උපයා දූතයා විසින් ගොඩනගා ගත්තේය. අනතුරුව මිල තීන්දු කරගෙන ගජමුතු මිලදී ගැනීමට පෙරේදා (05) ගලගෙදර ප්‍රදේශයේ විහාරස්ථානයකට පැමිණෙන ලෙස ජාවාරම්කරු ගැනුම්කාරයා ලෙස පෙනී සිටින උපාය දූතයා වෙත දන්වා ඇත. උපාය දූතයා සමග වනජීවී නිලධාරීන් විසින් පන්සලට ගිය විට පෙනී ගොස් ඇත්තේ මේ නීති විරෝධී ගජමුතු ජාවාරම්කරුවා චීවර ධාරියෙක් බවය.
එම අවස්ථාවේදී ගජ මුතු විකිණීමට පැමිණි චීවරධාරියාට වරද පහදා දී ඔහුව අත්අඩංගුවට ගෙන ඊයේ (06) දින ගල ගෙදර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. මෙම වැටලීම සදහා වැටලීම් භාර නිලධාරී අඩවි ආරක්ෂක ( අධි ශ්‍රේණි) ටී.කේ.එච්.කේ පතිරණ, අඩවි ආරක්ෂකII එම්.ආර්.එස්.එස්. බණ්ඩාර, අඩවි ආරක්ෂක III තරංග ධම්මික, අඩවි ආරක්ෂක III ශ්‍රීනාත් දිසානායක, හෂාන් රන්දික හෙට්ටිආරච්චි ( අඩවි සහකාර), චන්දන බණ්ඩාර ( අඩවි සහකාර), සමීර විජේසිංහ ( වනසත්ත්ව නියාමක) සංජය ( රියදුරු) මෙම වැටලීමට එක් වී සිටියහ.







