2024 දී අධිකරණ නියෝගයකින් පසු ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් අත්අඩංගුවට ගන්නා ලද රුපියල් මිලියන 250 ක් වටිනා මැණික් පාර්සලයක් නිසි අවසරයකින් තොරව මුදා හැර ඇති බවට වූ කම්පනයට පත්වන ප්‍රවෘත්තියක් කෝප් කමිටුවේ දී පසුගිය දා අනාවරණය විය.
මැණික් පාර්සලය මුලින් රාජසන්තක කරන ලද්දේ බදු ගෙවීමේ සිදුකල වංචාවක් හේතුවෙනි. අවශ්‍ය බදු කොන්දේසි ඉටු කිරීමෙන් පසුව පමණක් එම මැණික් තොගය අපනයනය කිරීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත්, පාර්සලය නීති විරෝධී ලෙස අපනයනය කිරීමට උත්සාහ කළ එම සමාගමටම නැවත මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් මුදා හැර ඇත්තේ රුපියල් දස දහසක අවම දඩයකට යටත් කර බව කෝප් කමිටුවේ දී අනාවරණය විය. .
කෝප් කමිටුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන් එගොඩවිතාන විසින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන්ගෙන් නිදහස් කිරීමේ ක්‍රියාවලිය සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියක් රහිතව නීතිපති උපදෙස් ලබා නොගෙන රුපියල් දස දහසක දඩයකට යටත් කර එම මැණික් තොගය මුදා හැරියේ කෙසේ ද යන්න ප්‍රශ්න කළේය.
එවැනි තීරණයක් ඒකපාර්ශ්විකව ගත නොහැකි බවට විගණකාධිපතිවරයාගේ ප්‍රකාශය නොතකා, අපනයන සේවා අධ්‍යක්ෂ අමල් තෙන්නකෝන්, අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගයක් මත පදනම්ව පාර්සලය මුදා හැරිය බව කෝප් කමිටුවේ දී පිළිගත්තේය.
පහත දැක්වෙන්නේ එම කමිටු අවස්ථාවය.







