පොලිස් භාරයේ සිටිය දී මිය ගිය කොස්ගොඩ තරුණයාගේ මරණය සම්බන්ධව විමර්ශන කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලෙස පොලිස්පතිවරයා නියෝග කර තිබේ.
පසුගිය 01 වැනි දා මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි වරදට මෙසේ පොලිස් අත් අඩංගුවට පත් වන්නේ කොස්ගොඩ හරතමංහන්දිය පදිංචි තරිඳු සිරිවර්ධන සොයිසා නැමැති 28 හැවිරිදි තරුණයෙකි.
ඔහු අත් අඩංගුවට පත්වන්නේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6යි මිලි ග්‍රෑම් 210ක් සන්තකයේ තබාගෙන සිටියදී බව පොලිසිය කියයි. පොලිස් භාරයේ සිටිය දී මෙම තරුණයා මිය යන්නේය. පොලිසිය පවසා තිබුණේ හදිසියේ මෙම තරුණයා රෝගාතුර වීමෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගිය බවය.
මිය ගිය තරුණයාගේ පියා වන නිමල් සිරිවර්ධන ද සොයිසා පවසා තිබුණේ තම පුතා අත් අඩංගුවට ගත් අවස්ථාවේ දි කොස්ගොඩ පොලිසියේ නිලධාරීන් ඔහුට බරපතල ලෙස පහර දුන් බවය.
සිද්ධිය පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු අද (03) සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරී තිබේ.








