කොවිඩ් ආසාදිතව බස්නාහිර පළාත තුළ රෝහල්ගතව සිටින ආසාදිතයන්ගෙන් සියයට 50 කට ඔක්සිජන් අවශ්‍යතාව තිබෙන බව වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය පැවසුවේය.
කොවිඩ් ආසාදිතව රෝහල්ගත වන බහුතරයක් දෙනා නිවසේ සිට අවසන් අවස්ථාවේ රෝහල්ගත වීම නිසා ඔක්සිජන් ලබාදීමේ අවස්ථාව තෙක් අසාධ්‍යව සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.
ආසාදිතයන්ට ඔක්සිජන් ලබාදීමේ අවස්ථාව වන තෙක් අසාධ්‍ය වනුයේ ඔවුන් එක්කෝ වයිරසය ආසාදිත බව නොදැන වෙහෙස මහන්සි වී කටයුතු කිරීම නිසා හෝ වයිරසය ආසාදිතව ඇති බවට රෝග ලක්ෂණ තිබුණ ද නොදැනුවත්ව හෝ දැනුවත්ව එය නොතකා හැරීම යන කාරණා නිසා බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
මේ වන විට කොවිඩ් රෝගීන්ගේ රෝහල්ගත වීම නිසා සාමාන්‍ය රෝහල්වල පවා ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයි ද, රෝහල්වල රෝගී ධාරිතාව පාලනය කර ගැනීම සඳහා වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය හඳුන්වාදී ඇතැයි ද හෙතෙම පැවසීය.
නිවෙස්ගතව ප්‍රතිකාර ලබා ගන්නා කොවිඩ් ආසාදිතයන්ට 247 දුරකථන අංකය ඇමතීමෙන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට හැකි අතර self shield app එක බාගත කර ගැනීමෙන් වෛද්‍ය උපදෙස් ලබා ගත හැකි බව ද ඔහු දැනුම් දුන්නේය.
කොවිඩ් රෝග ලක්ෂණ තිබේ නම් අනවශ්‍ය ලෙස මහන්සි නොවී විවේකයෙන් නිවසේ කාලය ගත කළ යුතු බවත් ස්වයං පාලනයක් ඇතිව කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා වීමට ජනතාව කටයුතු කළ යුතු බවත් හෙතෙම පැවසීය.