ශ්‍රියානි විජේසිංහ –
නියමිත බරට වඩා අඩු යූරියා පොහොර වාර්තා වීම සම්බන්ධව වහාම පූර්ණ විමර්ශනයක් පවත්වන්නැයි කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර ලංකා කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරාට උපදෙස් දී ඇත.
ලෝක බැංකු ආධාර යටතේ ලැබුණු මෙම යූරියා පොහොර බෙදා හැරීම රජයේ ආයතන දෙකක්වන ලක් පොහොර සහ කොමර්ෂල් පොහොර ආයතන මගින් සිදු කෙරිනි.
කොමර්ෂල් පොහොර සමාගමෙන් බෙදා හරිනු ලැබූ යූරියා කිලෝ ග්‍රෑම් 50 මිටිවල නියමිත බර නොමැති බව ගොවීන්ගෙන් දිගින් දිගටම පැමිණිලි ලැබීම නිසා පාරිභෝගික සේවා අධිකාරිය ඊයේ අනුරාධපුරයේ විලච්චිය, පේමඩුව රජයේ පොහොර ගබඩාවේ කළ වැටලීමකින් අනතුරුව කළ සාම්පල් පරීක්ෂාවක දී නියමිත බරට වඩා කිලෝ 1 -3 දක්වා අඩු පොහොර මිටි 14ක් සොයා ගත්තේය.
ඒ අනුව අද (18) දිනම මේ පිළිබඳව පූර්ණ විමර්ශනයක් පැවැත්වීම සඳහා කොමර්ෂල් පොහොර සමාගමේ නිලධාරීන් පිරිසක් පිටත්කර හැරීමට සභාපතිවරයා පියවර ගෙන තිබේ..
මෙම විමර්ශන කණ්ඩායම ලංකා කොමර්ෂල් පොහොර සමාගමේ සාමාන්‍යධිකාරී ආචාර්ය ජයන්ත වීරරත්නගේ ප්‍රධානත්වයෙන් පත් කරනු ලැබ තිබේ.
එමෙන්ම අද දිනය තුළම මීට අදාළ වාර්තාව ලබා දෙන ලෙස ද සභාපතිවරයා එම නිලධාරීන්ට උපදෙස් දී ඇත.
පොහොර බෙදාහැරීම පිළිබඳව යම් ගැටළුවක් පවතින්නේ නම් ඒ පිළිබඳව ගොවි ජනතාවට පැමිණිලි කිරීම සදහා අද (18) දින සිට තවත් අළුත් දුරකථන අංක 03 ක් හඳුන්වා දී ඇත. ඒවා පහත දැක්වෙන පරිදි වේ.
077 – 3497565 – ධම්මිකා එදිරිසූරිය මිය – සහකාර අධ්‍යක්ෂ
071 – 2962006 – ජී.අයි.ඩී.අයි. සංජීව මහතා – සහකාර අධ්‍යක්ෂ
071 – 8614557 /070 – 6664550 –චන්දන් මහතා – කොමසාරිස්(සේවා)
පොහොර බෙදාහැරීම සම්බන්ධව සියලුම දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර ලේකම්වරුට අද (18) ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේදී සාකච්ඡාවක් පැවති අතර මහ කන්නයේ පොහොර බෙදාහැරීම් කටයුතු අවසන් වන තෙක් ඒ සම්බන්ධව කටයුතු කරන සියලු නිලධාරීන්ගේ නිවාඩු ලබා ගැනීම අවලංගු කරන ලෙසත්, ඉරිදා, සෙනසුරාදා සහ වෙනත් නිවාඩු දිනවල පවා මෙම කටයුතු අවසන් වන තෙක් සේවය සඳහා වාර්තා කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇත.







