සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැඩිය හැකි හැම නීතියම කඩලා ඉදිරිපත් කළ කෙහෙළියගේ  රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්න- නීතිපති අභියාචනාධිකරණයෙන් ඉල්ලයි!

by editor
අප්‍රේල් 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නෙල්කා මැදගෙදර – දිනමිණ –

  • අධිකරණයට කරුණු වසන් කරමින්, අධිකරණ ක්‍රියාවලිය අවභාවිතා කරමින්, පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කරමින් සහ බන්ධනාගාර පනත යටතේ වරදක් කරමින් පෙත්සම ඉදිරිපත් කර ඇති බව නීතිපති අධිකරණයට කියයි!

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩු විභාගය අවසන් වන තෙක් තමන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල   ගොනුකළ රිට් පෙත්සම විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා ඊයේ (09) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අධිකරණයට කරුණු වසන් කරමින්, අධිකරණ ක්‍රියාවලිය අවභාවිතා කරමින්, පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කරමින් සහ බන්ධනාගාර පනත යටතේ වරදක් කරමින් පෙත්සම ඉදිරිපත් කර ඇති බව පෙන්වා දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම ඉල්ලීම කළේය.

කරුණු සලකා බැලීම සඳහා අදාළ පෙත්සම කඳවූ අවස්ථාවේදී මූලික විරෝධතා ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන්  මෙම කරුණු පෙන්වා දුන්නේය.

අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන්  හමුවේ මෙම පෙත්සම කැඳවන ලදී.

එහිදී පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන්   මෙලෙස සඳහන් කළේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

‘ කරුණු සඟවමින් සහ අධිකරණ ක්‍රියාවලිය අයුතු ලෙස භාවිතා කිරීමට පෙත්සම්කාර කෙහෙළිය රඹුක්වැල්ල   මෙම පෙත්සම ඉදිරිපත් කරමින් කටයුතු කර තිබෙනවා.’

‘රුපියල් මිලියන 130කට අධික වටිනාකමකින් යුත් ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පෙත්සම්කාර කෙහෙළිය රඹුක්වැල්ල  එම නඩු විභාගය අවසන් වන තෙක් බන්ධනාගාරගත කර සිටිනවා.’

‘එම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා, වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂවරයා ඇතුළු කිහිපදෙනෙකුට 2023 වසරේ නොවැම්බර් පළවෙනිදා සිට අත්අඩංගුවට ගත්තා.’

‘ඔවුන්ට එරෙහිව නඩුවක් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන අතර එම නඩුවේ අටවන සැකකරු ලෙස පෙත්සම්කාර කෙහෙළිය රඹුක්වැල්ල  අත්අඩංගුවට ගත්තා. ‘

‘එකී අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.’

‘එය තවමත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බලමින් සිටින අතර එසේ තිබියදී එම කරුණ සම්බන්ධයෙන්ම ගොනුකර ඇති පෙත්සමක් සලකා බැලීමට අභියාචනාධිකරණයට බලයක් නෑ.’

‘එවැනි නඩු කටයුතු කිහිපයක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය මීට පෙර තීන්දු ලබාදී තිබෙනවා.

ඉහළ අධිකරණයේ නඩුවක් තිබියදී මෙම පෙත්සම සලකා බැලීමට මෙම අධිකරණයට බලයක් නෑ.’

‘ඔහු අත්අඩංගුවට ගැනීම අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම මඟින් අභියෝගයට ලක් කර තිබෙනවා. එවැනි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බව මෙම රිට් පෙත්සමෙහි සඳහන් වන්නේ නෑ. එමඟින් පෙත්සම්කරු කර ඇත්තේ අධිකරණයට කරුණු වසන් කිරීමක්. එබැවින් එවැනි පෙත්සමක් පිළිගැනීම අධිකරණය විසින් නොකළ යුතුයි.’.

‘මෙම පෙත්සම්කරු එකම කාරණය සම්බන්ධයෙන් අධිකරණ කිහිපයක ටම පෙත්සම් ඉදිරිපත් කර තියෙනවා. එය ඔහු සිදු කර ඇත්තේ නිසි නීතිමය ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීමෙන් තොරවයි. නීතියට අනුව නම් ඔහු කළ යුත්තේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනුකිරීමයි. රිට් පෙත්සමක් ගොනුකිරීම නොවෙයි.’

‘නියමිත අධිකරණයට නොගොස් තමන්ට රිසි අධිකරණවල නඩු ගොනු කරමින් තමන්ට පක්ෂපාත තීන්දු ලබා ගැනීමට ඔහු උත්සාහ කරනවා. එය අධිකරණ ක්‍රියාවලිය අවභාවිත කිරීමක්. එවැනි ආකාරයට අධිකරණය අවභාවිතයට ගන්නා උත්සාහයන් ශක්තිමත් හස්තයක් මඟින් වැළැක්විය යුතුයි. එම කරුණ බරපතළ කරුණක් ලෙස සලකා මෙම පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.’

‘එසේම මෙම රිට් පෙත්සමට අදාළව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කර තියෙනවා. එම දිවුරුම් පෙත්සම පරිශීලනය කිරීමේදී පෙනීයන්නේ ඔහු එයට අත්සන් තබා ඇත්තේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී බවයි. ඔහුට අවසර ලබාදී ඇත්තේ පාර්ලිමේන්තු සැසිවාරිවලට සහභාගි වීමට පමණයි. එසේ තිබියදී පාර්ලිමේන්තුවේදී ඔහු දිව්රුම් පෙත්සමට අත්සන් තැබීම පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කිරීමක්. එසේම නඩුවක් සම්බන්ධය එවැනි දිව්රුම් පෙත්සමක් අත්සන් කරන්නේ නම් එය බන්ධනාගාර පනතට අනුව බන්ධනාගාර නිලධාරියෙකු ඉදිරියේ කළ යුතුයි. එවැන්නක් ඔහු සිදු කර නෑ. ඒ මඟින් බන්ධනාගාර පනත යටතේ ද ඔහු වරදක් කර තියෙනවා .’

‘මෙම කරුණු සියල්ලම සලකා බැලූ විට මෙම පෙත්සම , අධිකරණය නොමඟ යවමින්, අධිකරණයට කරුණු සඟවමින්, නීති විරෝධී ලෙස ඉදිරිපත් කර තියෙනවා. එය කිසිලෙසකින්වත් අධිකරණය විසින් ධෛර්යමත් නොකළ යුතුයි.’

‘ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුට අවස්ථාව තිබුණා. ඔහුගේ දියණිය මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළා. එසේ තිබියදීත් ඔහු තමන්ට රිසි අධිකරණ තෝරාගෙන රිට් පෙත්සම් ඉදිරිපත් කිරීම මඟින් තමන්ට යහපත් තමන්ට වාසිදායක තීන්දු ගැනීමට අපේක්‍ෂා කරනවා. මෙවැනි පුද්ගලයන් නිසා අධිකරණ නිවාඩු සමයේත් නඩු විමසීමට සිදු වෙනවා. ‘

විනිසුරු ඩී.එන්. සමරකෝන් –   ‘ එම චෝදනාව ඔබ කෙළින්ම අධිකරණයට ඉදිරිපත් කරන චෝදනාවක් වගේ. ඔබ මටද චෝදනා කරන්නේ?’

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා: – ‘ නෑ. එය අධිකරණය ට එල්ල කළ චෝදනාවක් නොවේ. එසේ හැඟෙනවා නම් මා ඒ සම්බන්ධව සමාව ඉල්ලනවා. මා සඳහන් කරන්නේ මෙවැනි පෙත්සම් ඉදිරිපත් කිරීම මඟින් පෙත්සම්කරු අධිකරණ ක්‍රියාවලිය අවභාවිතා කිරීමට උත්සාහ කරන බවයි.’

විනිසුරු ඩී.එන්. සමරකෝන් – ‘ පසුගිය දෙසැම්බර් අධිකරණ නිවාඩු කාලයේත් නඩු විමසීම සිදු කළා. ඒ අවස්ථාවේත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් විසින් එවැනි චෝදනාවක් එල්ල කළා.’

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා –  ‘එය කිසිසේත්ම අධිකරණයටවත් ඔබතුමාටවත් එල්ල කළ චෝදනාවක් නෙවෙයි පෙත්සම්කරුගේ ක්‍රියා කලාපයට තමයි චෝදනාවට ලක් කරන්නේ. ‘

‘මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග අභියෝගයට ලක් කරනවා නම් ඔහු ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළ යුතුයි. එසේ නොකර මෙවැනි රිට් පෙත්සමක් ඉදිරිපත් කිරීම, අධිකරණ ක්‍රියාවලිය අවභාවිත කිරීමක් ලෙස හැඳින්විය හැකියි.

එවැනි ආකාරයට අධිකරණ ක්‍රියාවලිය අවභාවිතයට ගැනීම ප්‍රතික්ෂේප කළ යුතු බවට අමෙරිකානු මහාධිකරණයෙන් පවා නියෝග ලබා දී තිබෙනවා.

‘මෙම ඖෂධ මිලදී ගැනීම් හදිසි ඖෂධ මිලදී ගැනීම් යටතේ සිදු කිරීම ට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත්තේ ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පාමින්. වසර දෙකකට ප්‍රමාණවත් තරම් ඖෂධ තිබියදී තමන් සතු තොග පමණක් සැලකිල්ලට ගෙන ඇණවුම් කර ඇති තොග ගණනය කිරීමකින් තොරව තමයි ඖෂධ හිඟයක් ඇති බවට කරුණු ඉදිරිපත් කර ඇත්තේ.’

‘ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ පෞද්ගලික අංශයට ඖෂධ ආනයනය කිරීම සඳහා හදිසි මිලදී ගැනීම් යටතේ අවසර ලබාදී තිබුණා. එය සිදු කළේ පෞද්ගලික අංශය විසින්ම ඖෂධ ආනයනය කර පෞද්ගලික ඖෂධ ශාලාවලට ලබාදීම සඳහායි. එහි අරමුණ වූයේ රජයේ ඖෂධ ශාලාවල ඖෂධ නොමැති නම් පෞද්ගලික ඖෂධ ශාලාවලින් හෝ එය ලබා ගැනීමට ජනතාවට අවස්ථාව සලසාදීමටයි.’

එහෙත් එය වැරදි ලෙස භාවිතා කර ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඉතිරි වූ සම්පූර්ණ මුදලම පෞද්ගලික අංශයට ලබාදී ඖෂධ ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා.

‘ඖෂධ 182ක් හිඟ බවට සඳහන් වුණත් පෙත්සම්කරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති පත්‍රිකාවේ ඖෂධ 285ක් හිඟ බවට සඳහන් කර තිබෙනවා. කෙසේ වුවත් මෙම කැබිනට් පත්‍රිකා හෝ ඖෂධ පිළිබඳව සත්‍ය ලේඛන කිසිවක් සොයා ගැනීමට නෑ .ඒවායේ ඡායා පිටපත් පමණයි තිබෙන්නේ.”

‘පෙත්සම්කරු මෙම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වී ඇත්තේ කැබිනට් මණ්ඩලය නොමඟ යවන ලෙස කටයුතු කරමින්. සැබෑ ලෙසම හිඟ නැති ඖෂධ පවා හිඟයක් ඇති බවට කරුණු දැක්වීමට ඔහු කටයුතු කර තිබෙනවා. කැබිනට් අනුමැතිය ලබා ගැනීමකින් තොරව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට යටත්ව ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ අදාළ ඖෂධ මිලදී ගැනීමට කටයුතු කර තිබෙනවා.’

‘පෙත්සම්කරුගේ මෙම ක්‍රියාව සම්බන්ධ කරුණු කිසිවක් මෙම පෙත්සම මඟින් අනාවරණය කර නෑ. ‘

‘මෙම කරුණු සියල්ලම සලකා බලා මෙම පෙත්සම විභාගයට නොගෙන ගාස්තු සහිතව මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙස අධිකරණයෙන් මා ඉල්ලා සිටිනවා’

එහිදී පෙත්සම්කාර හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල  වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාෆා   දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කරමින් මෙසේ සඳහන් කළේය.’

‘මෙම පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර ඇත්තේ ඖෂධ මිලදී ගැනීමක් සම්බන්ධවයි. ඔහු මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ නැහැ. කොවිඩ් සමය සහ ආර්ථික අර්බුදය නිසා ඇති වූ තත්ත්වයන් වලින් අනතුරුව රටේ ඖෂධ හිඟයක් පැවතුණා .ඒ බවට මාධ්‍ය ද වාර්තා කළා. ඒ අනුව තමයි අදාළ ඖෂධ මිලදී ගැනීමට පියවර ගත්තේ. පෙත්සම්කරු ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කරුණු වාර්තා කරලා අවසර ලබා ගත්තා. මුදල් අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙලා මුදල් නිකුත් කළා. එය පොදු දේපළ යටතේ වරදක් ලෙස සැලකිය නොහැකියි.’

‘මෙම ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදු කළේ 2023 නොවැම්බර් මස පළවෙනිදා සිටයි. පෙත්සම්කරුව අත්අඩංගුවට ගත්තේ ඉකුත් පෙබරවාරි මාසයේ දෙවැනිදායි. ඔහු තුන්වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත් කළා. ‘

‘එහිදී පෙත්සම්කරු සම්බන්ධයෙන් පොදු දේපළට අදාළව නිකුත් කර ඇති සහතිකය පිළිගත නොහැකියි. එම නඩුවේදී සැකකරුවන් සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයා ඉදිරිපත් කර ඇති එම සහතිකය මෙම පෙත්සම්කරුට ද අදාළ කර ගන්නා ලෙස සඳහන් කර තියෙනවා. එම සහතිකය පෙත්සම්කරු සම්බන්ධයෙන් ඍජුව ඉදිරිපත් කළ සහතිකයක් නොවෙයි. ඒ අනුව එය පෙත්සම්කරු සම්බන්ධයෙන් නීත්‍යානුකූල ලියවිල්ලක් වන්නේ නෑ. ඒ අනුව පොදු දේපළ පනත යටතේ ඔහු රිමාන්ඩ් භාරයට පත් කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනියි. පෙත්සම්කරු සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ වෙනම සහතිකයක් නෑ. ඒ අනුව ඒ යටතේ ඔහු සම්බන්ධයෙන් නියෝග දෙන්න හැකියාවක් නෑ. එම සහතිකය පෙත්සම්කරු සම්බන්ධයෙන් අදාළ කර ගැනීම සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි.’

‘එසේම යමෙක් පොදු දේපොළ පනත යටතේ වරදක් කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ නඩු පැවරිය යුතුයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එවැනි නඩු පැවරීමක් සිදුකර නෑ. පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නෑ. එබැවින් පෙත්සම්කරු සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය විසින් ලබා දී ඇති තීන්දු සම්පූර්ණයෙන්ම නීතියට පටහැනියි.’

‘පසුගිය කාලයේ මෙරට ඖෂධ හිඟයක් තිබූ බව සියලු දෙනාම දන්නා කාරණයක්. එම ඖෂධ ලබා ගැනීමට කටයුතු කිරීම පොදු දේපළ පනත යටතේ නඩු දැමීමට හේතුවක් නොවෙයි. කැබිනට් එක නොමඟ යැවීම දිගින් දිගටම රිමාන්ඩ් භාරයේ තැබීමට හේතුවක් ලෙස පිළිගත නොහැකියි.’

‘එබැවින් පෙත්සම්කරු අදාළ නඩුව අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය ලබාදුන් තීන්දුව නීතියට පටහැනියි.

එබැවින් එය ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස මා මෙම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.’

මෙම පෙත්සමට මැදිහත්ව කරුණු දැක්වීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍යය නවරත්න නීතිඥ ජී.ජී.අරූල්ප්රගාසම් මඟින් කළ ඉල්ලීමට අධිකරණයේ අවසරය ලැබිණි.

ඒ අනුව එම පෙත්සම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ චන්දක විජේසුන්දර කරුණු ඉදිරිපත් කරමින් මෙසේ සඳහන් කෙළේය.

‘මෙම ඖෂධ මිලදී ගැනීමේ සිද්ධියෙන් අගතියට පත් පාර්ශ්වය බවට පත්වන්නේ මෙරට ජනතාවයි. මෙය ජනතාවගේ ජීවිත සමඟ කරන කටයුත්තක් වන බැවින් එය සුළු කොට දැකිය නොහැකියි.ඒ නිසා ජනතාව වෙනුවෙන් මෙම පෙත්සමට මැදිහත්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය තීරණය කළා. ‘

‘ ජනතාවට වැදගත් වන සහ නිරීක්ෂණවලදී මැදිහත්වීම අවශ්‍ය බව සිතන නඩු කටයුතුවලට මැදිහත්ව කරුණු දැක්වීමට නීතිඥ සංගමයට අවසර තිබෙනවා. නඩු කටයුත්තට අදාළ මහේස්ත්‍රාත් අධිකරණ නඩුවේ පාර්ශ්වකරුවකු ලෙස ද නීතිඥ සංගමය කටයුතු කරනවා. ඒ බවට පෙත්සම්කාර පාර්ශ්වය දැනුවත්.’

‘මෙම ඖෂධ නිෂ්පාදනය කිරීම මෙරට කටුනායක පිහිටි සමාගමකින් සිදු කර තිබෙනවා. එහිදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර නෑ. ඖෂධ මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය නිසි පරිදි ලබාගෙන නෑහැ. මෙම කරුණු සලකා බලා පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටිනවා. ‘

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා පෙත්සම් විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් නිකුත් කරනවා ද නැද්ද යන්න පිළිබඳව සිය නියෝගය ලබන 30 වැනිදා ප්‍රකාශ කිරීමට තීරණය කෙළේය.

පෙත්සම සම්බන්ධයෙන් වන ලිඛිත දේශන අප්‍රේල් මස 22 වැනිදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස පාර්ශ්වකරුවන්ට නියම කෙරිණි.

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල විසින් ගොනුකර ඇති මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය, එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා හා නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර සිටිති.

පෙත්සම්කරු සඳහන් කර සිටින්නේ ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය කටයුතු කළ බවය.

අනතුරුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු තමන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළ බව පෙත්සම්කරු කියයි.

එකී නියෝගයට එරෙහිව ඇප ඉල්ලීමක් එම අධිකරණයට ගොනුකළ අතර ඉකුත් මාර්තු මස 13 වැනිදා එම නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශ කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය මෙම නඩුව අවසන් වන තෙක් තමන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළ බව පෙත්සම්කරු කියයි.

පොදු දේපළ පනත යටතේ ගොනුකළ නඩුවකට අදාළව සැකකරුවකුව එම නඩුව අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවට පෙත්සම මඟින් කරුණු ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව තමන් අදාළ නඩු විභාගය අවසන් වනතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය ලබාදුන් නියෝගය නීතියට පටහැනි සහ අසාධාරණ, අයුක්ති සහගත නියෝගයක් බවට පෙත්සම් මඟින් පෙන්වාදී තිබේ.

පොදු දේපළ පනතට අදාළ නඩුව පවත්වාගෙන යාම සඳහා සහකාර පොලිස් අධිකාරිවරයා විසින් සහතික පත්‍රයක් ඉදිරිපත් කළ බවද එය නීති විරෝධී බවද පෙත්සම්කරු සඳහන් කර සිටී.

එබැවින් තමා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය ලබාදුන් නියෝගය සහ පොදු දේපොළ පනත යටතේ නඩුව පවත්වාගෙන යෑමට සහකාර පොලිස් අධිකාරිවරයා ඉදිරිපත් කළ සහතිකය බල රහිත කරන ලෙසද පෙත්සම්කරු අධිකරණයෙන් තවදුරටත් ඉල්ලා සිටියි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

42/5 යි… බට්ටිච්චි ගේ වික්‍රමය…

Next Post

පාස්කු ප්‍රහාරයේ මට්ටමින් නොවුනත් රාමසාන් – අලුත් අවුරුදු කාලයේ අන්වාදී ත්‍රස්ත ක්‍රියා ඇතිවිය හැකියි… ආරක්ෂාව තර කරන බව පොලිස්පති කියයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.