මීට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (03) සිදු වූ අතර ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය සයමා (ඉකුඉනා) අකිකෝ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඊට අත්සන් තබන ලදී.

මෙම ප්‍රදානය මගින් පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණයෙහි ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා කසල ප්‍රවාහනයට කම්පැක්ටර් රථ 28ක් සපයනු ලබන අතර, ඉන් බස්නාහිර පළාතට රථ 14ක්, නැගෙනහිර පළාතට රථ 08ක් සහ උතුරු පළාතට රථ 06ක් බැගින් ලබා දීමට නියමිතය.
වත්මන් රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළ නිසා ලෝකයේ රටවල ආයෝජන ආකර්ෂණය ශ්‍රී ලංකාව වෙත යොමු වෙමින් තිබෙන බව ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය සයමා (ඉකුඉනා) අකිකෝ මෙහිදී සඳහන් කළාය.
දූෂණ විරෝධී කටයුතු සම්බන්ධයෙන් රජය ගෙනයන වැඩපිළිවෙළට ඉදිරියටත් ජපාන රජයේ සහාය ලබාදීමට කටයුතු කරන බවද උප අමාත්‍යවරිය සඳහන් කළාය.
ජපාන අගමැතිවරයාගේ සුබ පැතුම් පණිවිඩයද උප අමාත්‍යවරිය මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පිළිගැන්වූවාය.
ජපානය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් කැප වී කටයුතු කිරීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී ජපාන රජය වෙත ස්තුතිය පළ කළේය.
වත්මන් රජය විසින් ක්‍රියාවට නංවා තිබෙන දූෂණ විරෝධී වැඩපිළිවෙළ කිසිදු අයුරකින් පළුදු නොකර ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා ජපාන රජයේ ආධාර ඇතිව මෙරට ආරම්භ කර අතරමග නැවතුණු සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද ජපාන රජය වෙත ස්තුතිය පළ කළේය. එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ජපාන රජය ලබා දුන් සහාය වෙනුවෙන්ද කෘතවේදීත්වය පළ කළේය.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විශාල පිරිසකට රැකියා අවස්ථා ලබාදීම පිළිබඳව ජපාන රජය වෙත ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා ඉදිරියේ දී එම අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීමට සහාය ලබා දෙන ලෙසත්, ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය නංවාලීම සඳහා ජපාන ආධාර සහිත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මැදිහත් වන ලෙසත් ජපාන රජයෙන් ඉල්ලීමක් කළේය.
කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක , ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජපාන තානාපති අකිඕ ඉසෝමතා (ISOMATA Akio), ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍යවරයාගේ ලේකම් සයිතෝ ජුන් (SAITO Jun), ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිරිතදිග ආසියානු අංශයේ අධ්‍යක්ෂ මුරොතානි මසකත්සු (MUROTANI Masakatsu) , විදේශ ආධාර සැලසුම් අංශයේ II වන අධ්‍යක්ෂ හිරෝසි අකිකෝ(HIROSE Akiko), නිරිතදිග ආසියානු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉවාසෙ කිචිරෝ (IWASE Kiichiro) මෙම අවස්ථාවට එක්ව සිටියහ.







